රුසියානු ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවට. ආයෝජන අවස්ථා ගැන BOI ප්‍රධානීන් සමඟ සාකච්ඡා

    January, 27, 2023

    රුසියානු සමූහාණ්ඩුවේ, Sverdlovsk ප්‍රාන්තයේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගියදා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සුහද සංචාරයක නිරත වු අතර, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් ඇතුළු ආයෝජන මණ්ඩලීය ඉහල නිලධාරීන් පිරිසක් හමුවිය.

    සෘජු විදේශ ආයෝජන අවස්ථා වැඩිදියුණු කර ගැනීම, ආයෝජන ආකර්ෂණය සහ ශ්‍රි ලාංකීය නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කරමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරලීම මෙම සංචාරයේ අරමුණ විය.

    වාණිජ හා කර්මාන්ත සම්මේලනය (Federation of Chambers of Commerce and Industry of Sri Lanka FCCISL) විසින් සංවිධානය කල “රුසියානු - ශ්‍රි ලංකා ආර්ථික සමුළුවට” සහභාගී වීම සඳහා මෙම ව්‍යාපාරික දූත පිරිස මෙරටට පැමිණියහ. එය ජනවාරි 23 -26දා තෙක් පැවැත්වුණු අතර, රුසියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ නොමද අනුග්‍රහය මෙම සමුළුවට ලබා දි ඇත.

    Sverdlovsk ප්‍රාදේශීය රජයේ නියෝජ්‍ය ආණ්ඩුකාර “Kozlov Vasily Valerievich” මහතා ප්‍රධානත්වය දරන, මෙම දූත පිරිස, එම ප්‍රාන්තයේ ආයෝජකයින්, අධ්‍යාපන ආයතනවල නියෝජිතයින් ඇතුළු මහ පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් සමන්විතය.

    මීට අමතරව Sverdlovsk ප්‍රාන්ත රාජ්‍යයේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා පිළිබද අමාත්‍ය Yarin Vyacheslar Yurievich මහතා සහ සංචාරක සත්කාරක කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ Tukanova Elmira Nailvna මහතාද, මෙම ඉහල රුසියානු නියෝජිත දුත පිරිසේ සමාජිකයන් වේ.

    රුසියාව සහ ශ්‍රි ලංකාව අතර සෑම විටම ජීවගුණයෙන් සපිරුණු සමීප සබඳතාවක් පවතියි. දශක ගනනාවක් තිස්සේ රුසියාව ශ්‍රි ලංකාවේ විශ්වාසවන්තම හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරන අතර, මිත්‍රශීලී රාජ්‍යයන් අතුරින් විශේෂිතම ස්ථානයක් හිමිකර ගනී.

    පසුගිය දශක කිහිපය තුල ලංකා තේ අපනයන ක්ෂේත්‍රයේ විශාලතම ගැණුම්කරුවා ලෙසද, සංචාරක ක්ෂෙත්‍රයේ වැඩිම සංචාරක ආගමනයක් සිදු කළ රාජ්‍යය ලෙසද, රුසියාව ලංකාවට විශේෂිත වේ. ලාංකීය සමාජ, ආර්ථික සංවර්ධනය කෙරෙහි රුසියාව ලබාදෙන අතිමහත් දායකත්වය ඉතා ප්‍රශසංසනීයය.