රු. ලක්ෂ 6කට වඩා මූල්‍ය සමාගම්වල තැන්පත් කරන අයට ඇමති බන්දුලගෙන් අවවාදයක්

    June, 4, 2020

    මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් බවත්, එබැවින් රටේ තැන්පත්කරුවන් මූල්‍ය සමාගම්වල මුදල් තැන්පති කිරීමේ දී තමන්ගේ තැන්පතු මුදලින් සුරක්ෂිතතාවය ඇති ප්‍රමාණ රුපියල් හය ලක්ෂයක් බව දැනුවත් වීම වැදගත් යැයි තමන් සිතන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අර්බුදයට පත් ‘ද ෆිනෑන්ස්‘ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගෙන් රුපියල් ලක්ෂ 6 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් සඳහා මුදල් නැවත ගෙවීම සඳුදා සිට ආරම්භ කරන බව අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය. මෙහී දී වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    “ඊයේ දිනයේ දී විශාල වශයෙන් අපි සාකච්ඡා කළා, මූල්‍ය සමාගම් වසා දැමීම නිසා හෝ බලපත්‍ර අහෝසි කිරීම නිසා හෝ කලින් පැවතුණ තත්ත්වයන් තුළ හෝ මේ රටේ දස දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත තැන්පත්කරුවන් පිරිසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන දුෂ්කරතාවය පිළිබඳ, පසුගිය කාලපරිච්ඡේදය තුළ අපි දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරන්න.“

    “ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අරලියගහ මන්දිරයට පසුගිය දා කැඳවනු ලැබුවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් ගෙනල්ලා විශාල සාකච්ඡාවක් පැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ‘ද ෆිනෑන්ස්‘ සමාගම, ඉතා පැරණි ෆිනෑන්ස් සමාගමක්, එහි ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ ඒ ඈවර කිරීමේ කටයුතු කරන තෙක්, මේ සමාගමේ සියලූම තැනුපත්කරුවන්ට ලබන සඳුදා සිට, ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව මහ බැංකුව විසින් දැනුම් දුන්නා අග්‍රාමාත්‍යතුමාට.“

    “ඒ අනුව මුළු තැන්පත්කරුවන්ගෙන් 93% ක ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා. ලක්ෂ 6 බැගින් සඳුදා සිට ගෙවීම් ආරම්භ කිරීමෙන් පසු මුළු තැන්පත්කරුවන්ගෙන් 93% ක ප්‍රශ්නය විසඳෙනවා. ඊට වඩා වැඩි තැන්පත්කරුවෝ ඉන්නවා 7% ක්. ඒ සැණෙකින් කරන්න පුළුවන්කමක් නැති බව සඳහන් කළා. වැඩිපුර මුදල් තැන්පත් කළ, තැන්පත්කරුවන්ගේ ටික, ඈවර කරන ක්‍රියාවලිය තුළින් කඩිනමින් ඒ තැන්පත්කරුවන්ගෙත් මුදල් ගෙවා නිම කිරීම සඳහා කටයුතු කරනවා, මේ සාකච්ඡාව සඳහා වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාත් සහභාගී වුණා. එතුමා විසිනුත් විශාල චෝදනාවක් ශ්‍රී ලංකා මහ බැංකුට එල්ල කළා. මොකද, තමන් විසින් අනුමත කරලා, මේ තැන්පත්කරුවෝ ඒ විශ්වාසය මුදල් තැන්පත් කිරීමෙන් පසු දුෂ්කරතාවයන්ට පත්වෙන තැනැත්තන්ට කඩිනමින් සහනයක් ලබා නොදීම සම්බන්ධයෙන් අගමැතිතුමාගේත් අපේ රජයේත් විශාල විරෝධයක් අපි ඒ පාර්ශවයන්ට පළකළා. එහිදී මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මැතිතුමා ප්‍රතිඥා දුන්නා අතීතය කෙසේ වෙතත් මින් ඉදිරියට මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස මූල්‍ය සමාගම්වල විශ්වාසනීයභාවය ආරක්ෂා කරන ලෙසත්, ඒ හා සම්බන්ධිතව තැන්පත්කරුවන්ට ඇතිවෙලා තියෙන ප්‍රශ්න විසඳීම සඳහාත් එතුමා මැදිහත් වෙනවා. මීට පසුව මෙවැනි දේ සිදුවෙන්න දෙන්නේ නැති බව.“

    “අපි මතු කළා ඒ අවස්ථාවේ දී ඊඒපී ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන තත්ත්වය. මහ බැංකුවේ උසස් නිලධාරියෙක් දැනුම් දුන්නා, ඒ සඳහා මෙවැනි සහනයක් ලබා දෙන්න බැරි, ලක්ෂ 6ක් වත් ගෙවන්න බැරි වෙලා තියෙන්නේ ඒ සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගවලට තැන්පත්කරුවන්ගේ සංගම් විසින් ගිහිං තිබෙන නිසා, ඒ නීතිමය කටයුතු කරණ කොට ගෙන ඔවුන්ට මැදිහත්වීමක් වීම පමා වෙලා තිබෙන බව.“

    “ඊට අතිරේකව මේ සාකච්ඡාවලින් පැහැදිලි වෙන්නේ, යම්කිසි මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කළ විට ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම දරන්නේ ලක්ෂ 6ක් දක්වා පමණයි. ඒ නිසා රටේ තැන්පත්කරුවෝ මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කරන කොටත් තමන්ගේ සුරක්ෂිතතාවය ඇති ප්‍රමාණය හය ලක්ෂයයි කියලා දැනුවත් වීම වැදගත් කියලයි මම හිතන්නේ. හය ලක්ෂයක් වුණොත්, හය ලක්ෂය දක්වා ගෙවන්න ශ්‍රී ලංකා මහ බැංකුව ඒ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරනවා, තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ. ඊට වඩා වැඩි මුදලක් වුණොත් තමයි මේ ගෙවන්න බැරි. කෙසේ වෙතත් මුදල් තැන්පත් කිරීමේ දී මේ තැන්පත්කරුවන් විවිධ ආයතන විසින් ඉදිරිපත් කරන ඉහළ පොළී අනුපාතික ගිජු ලෙස වැළඳ ගැනීමකින් තොරව ඒ ආයතනවල හා තමන්ගේ මුදල පිළිබඳ විශාල අවධානයකින් ඇතුව මුදල් තැන්පත් කිරීමේ කාර්යවල නිරත වෙන නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. අධීක්ෂණ කටයුතු වැඩිවෙයි.“