2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් 50,000කට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබා දීමේ වැඩසටහන
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මඟින් අඩු ආදායම්ලාභී පවුල් වෙත කුලී පදනම මත ලබා දී ඇති මහල් නිවාස වෙනුවෙන් කුලී අය කිරීම අත්හිටුවා එම මහල් නිවාස ඒකකවල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල් වෙතම ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත.
විවිධ නිවාස ව්‍යාපෘති යටතේ නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු ආදායම්ලාභීන් වෙත බදු සින්න, වාරික සින්න, සින්නක්කර සහ කුලී යන පදනම් යටතේ නිවාස ලබා දී තිබේ.
ඒ අනුව, මාසිකව රුපියල් 3,000/-ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති සියලු නාගරික නිවාස ඒකකවලින් කුලිය අය කර ගැනීම නතර කිරීමටත්, එකී නිවාසවල සින්නක්කර අයිතිය එම අඩු ආදායම්ලාභීන්ට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.