• Ada Derana BIZ Sinhala
  • Finance Minister
  • milk powder
  • sri lanka
  • stock

රේගුවේ රඳවාගෙන ඇති කිරිපිටි තොගය නියමිත නීතිමය ක්‍රමවේද ඔස්සේ සතියක් ඇතුළත මුදා හැරීමට සූදානම් – මුදල් රාජ්‍ය ඇමති කියයි

November, 29, 2022

ආනයනකරු නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රේගුවේ රඳවාගෙන සිටින කිරිපිටි තොගය කල් ඉකුත් වීමට පෙර මුදා හැරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිරිපිටි ආනයනය කිරීම සඳහා සීමා පනවා නොමැති බැවින් මෙම රඳවා ගැනීම හේතුවෙන් රට තුළ කිසිදු කිරිපිටි හිගයක් නිර්මාණය විය නොහැකි බවයි. රඳවාගෙන ඇති කිරිපිටි තොගය පිළිබඳ අද (29) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඍජු පරි­භෝජනය සඳහා කිරිපිටි ආනයනය කිරීම ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව සිදු කළ හැකි වුව ද කිසියම් ද්‍රව්‍යයක් අමුද්‍රවයක් ලෙස ආනයනය කරන්නේ නම් ඊට අදාළ පූර්ව අනුමැතිය අවශ්‍ය වේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට අනුව මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ චොකලට් සහ කිරි තේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යක් ලෙස ය. එබැවින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ නීති විරෝධී ලෙස බැවින් ඊට අදාළ නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු ය.

කෙසේ වෙතත් ආනයනයකරු විසින් අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් සතියක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර කල් ඉකුත් වීමකින් තොරව කිරිපිටි තොගය නිදහස් කිරීමට හෝ නිත්‍යානුකූලව බැහැර කිරීමට රේගු දෙපාර්තමේන්තුව සූදානම් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධව උද්ගත වූ ගැටලුව පිළිබඳව අමාත්‍යාංශ නිවේදනයයි.

අදාළ සමාගම 2022.09.15 වන දින සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 153,375kg අඩංගු 40 බහාලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා 2022.10.20 දින කොළඹ වරායට ගෙනවිත් ඇත.

මෙම සමාගම 2022.11.04 වන දින විවෘත ගිණුම් ක්‍රමය යටතේ  ගෙවීම් කරන බවට පවසා රේගු සටහන්කර අංක I 123330 යටතේ   මෙම  සම්පූර්ණ  යොදය සහිත කිරිපිටි ඇණවුම රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා   කටයුතු ආරම්භ කරන ලදී.

ඒ වන විට මෙම කිරිපිටි අඩංගු බහාලුම් නැව්ගත කර දින 35 කුත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 15 කුත් ගත වී තිබුණි. සාමාන්‍යයෙන් ආනයනයක් කොළඹ වරායෙන් ගොඩ බෑමෙන් අනතුරුව දින තුනක් වැනි කාලයක් ඇතුළත දී අදාළ සමාගම් නිදහස් කරගනු ලබන අතර මෙම සමාගම දින 15 ක් ගත වන තුරුත් ඒ සඳහා කටයුතු ආරම්භ කර නොතිබුණි.

කිරිපිටි ආනයනය කිරීමේදී විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනයට ඉඩ තබා තිබූ අතර වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබා දී තිබුණී. එසේ වුවද කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබා ගත් නිර්දේශ ඉදිරිපත් කරමින් 2022.06.24 දිනැති අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ 4 (ඇ) හි සඳහන් පරිදි නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස යම් ද්‍රව්‍යයක් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කරන්නේ නම් ගැසට් නිවේදනයේ සඳහන් පරිදි ඒ සඳහා ආනයන අපනයන පාලක ජනරාල් වෙතින් පූර්ව අනුමතියක් ලබා ගත යුතු වේ. එසේ තිබියදි මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට ආනයන අපනයන පාලක වෙත අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ අදාල භාණ්ඩ වරායට පැමිණීමෙන් අනතුරුව වන අතර ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත. එනම් ආනයන අපනයන පාලක වෙත ඉදිරිපත් කර ඇති ලේඛන අනුව මෙම කිරිපිටි තොගය කිරිපිටි වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට හේතුවක් නොවන අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ අනුව ඒවා චොකලට් හා කිරි තේ නිපදවීමට ආනයනය කළ අමුද්‍රව්‍යකි.

2022.11.14 දින මෙම ප්‍රශ්නගත සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීම් හා පහසුකම් සැලසීමේ අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එම නිලධාරීන්ට මෙම ඇණවුමට විවෘත ගිණුම් ක්‍රමය යටතේ මුදල් ගෙවීමට ප්‍රකාශ කර තිබූ ආකාරය පිළිබඳව හටගත් සැකය හේතුවෙන් 2022.11.14 වන දින මෙම ප්‍රශ්නගත බහාලුම් 6 කොළඹ වරාය තුළ රඳවා ගන්නා ලදී. 2022.11.15 වන දින ඒ පිළිබඳව අදාල සමාගම දැනුවත් කරන ලදී. රේගුව මගින් මෙම බහලූම් රඳවා ගන්නා අවස්ථා වන විට ඒවා කොළඹ වරායට පැමිණ දින 25 ක්  ගත වී තිබුණි.

2022.10.20 අදාළ ආනයනය සිදු වන දින වන විට මෙම සමාගම 2022.06.24 වන දින නිකුත් කරන ලද අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර  4(ඇ)වගන්තිය   ප්‍රකාරව  ආනයනය  හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරන ලද අවසරය ලබා ගෙන නොතිබුණි.

එලෙස ආනයන අපනයන පාලක රෙගුලාසි උල්ලංඝනය කරමින් කරන ලද ආනයනයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල ඇත. ඒ අනුව 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතට සමග කියවෙන රේගු ආඥා පනතේ 12 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෙම කිරිපිරි තොගය සෘජු පරිභෝජනය ඳහා කිරිපිටි ආනයනය කිරීමට ලබාදී තිබූ පහසුකම භාවිතා කරමින් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යක් ලෙස කිරිපිටි ආනයනය කළ අවස්ථාවක් බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව සේ සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තා වලින් පෙනී යයි. අධි විදේශ විනිමය හිගයකින් පෙළෙන රටක විදේශ විනිමය ආරක්ෂා කිරීමට සකස්කළ නීති උල්ලංගණය කිරීම බරපතල තත්ත්වයකි.

ගරු කථානායකතුමනි, රේගු අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ මෙහෙවීම යටතේ රේගු නිලධාරීන් විසින් මෙම ප්‍රශ්න ගත ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරමින් පවතී. එසේම කිරිපිටි ආනයනය සීමා කර නොමැති බැවින් මේ හේතුවෙන් වෙළඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක් නොමැත. කෙසේ වෙතත් රේගු පරීක්ෂණයෙන් පසු මෙම ප්‍රශ්නගත කිරිපිටි තොගය ආනයනකරු විසින් නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් සතියක කාලයක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර, මෙම කිරිපිටි කල් ඉකුත්වීමකින් තොරව නිදහස් කිරීමට හෝ නීත්‍යානුකූලව බැහැර කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් කටයුතු කරනු ඇත.

වැඩිමනත් වශයෙන් පරීක්ෂණ සඳහා යන කාලය තුළ වුවද නියම කරනු ලබන බැංකු ඇපකරයක් තබා කිරිපිට තොගය නිදහස් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. රටේ පවතින නීති  රීති ආරක්ෂා කරමින් අර්ථික වශයෙන් ඉතා අපහසු අවස්ථාවක ආනයනකරුවන් ද අනවශ්‍ය අපහසුතාවයට ලක් නොකරමින් ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුළ කටයුතු කිරීම මෙහි අරමුණ වේ.