December, 21, 2022
මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද රථ වාහන ප්රදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ. දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20) එක් විය.
නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර හතක් පමණ තිස්සෙ දිරා යමින් පවතින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බව සියඹලාපිටිය මහතා එහි දී පැවැසීය.
“අපි දන්නවා මත්ද්‍රව්‍ය ජාවාරම ශීඝ්‍රයෙන් පැතිර යන බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සෑම වැටලීමක් සඳහා ම පොලිස් දෙපාර්තමේන්තුව සතුව තියෙන්නෙ වාහන 12,000ක විතර ප්‍රමාණයක්. ඉන් අඩක් පමණ වසර 20කට වඩා පැරැණියි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන 111ක් සඳහා මේ වාහන ප්‍රමාණවත් නෑ. ඒ අනුව පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම රථවාහන ලබා දීම සිදු කෙරෙනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story