රෝයල් රෝහල සිය රසායනාගාර සේවා සඳහා ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් සමග අත්වැල් බැඳ ගනී

    August, 16, 2016

    සිය රසායනාගාර සේවා සඳහා තමන් මෙරට රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට ඉහලම ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබා දෙන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් (LHD) සමග අත්වැල් බැඳ ගන්නා බව රෝයල් හොස්පිටල් පසුගියදා නිවේදනය කළේය.

    ලංකා හොස්පිටල්ස් සමූහයේ එක් ආයතනයක්වන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, විශිෂ්ට වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබා දීම වෙනුවෙන් සහ රසායනාගාර වාර්තාවල නිරවද්‍ය භාවය සඳහා මෙරට ජනතාවගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇත.

    රසායනාගාර පරීක්ෂණ දිනෙන් දින සංකීර්ණවන සහ විවිධත්වයට ලක්වන තත්ත්වයක් තුළ, විශ්වසනීය සේවා සම්පාදකයෙකුගේ අවශ්‍යතාව රෝයල් රෝහල මැනවින් අවබෝධකර ගත්තේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය නිර්දේශන රසායනාගාරය ලෙස මෙන්ම, මෙරට විශාලතම පරීක්ෂණ එකතුවට හිමිකම් කියන රසායනාගාරය ලෙස ද කීර්තියට පත් ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ඒ සඳහා තෝරා ගැනීමට රෝයල් හොස්පිටල් රෝහල කටයුතු කළේය.

    "රෝයල් රෝහල සිය රසායනාගාර සේවා සඳහා අප සම්බන්ධ කර ගැනීම අප සුවිශේෂී කඩයිමක් ලෙස සලකනවා. විශ්වසනීයත්වය, වේගය සහ ප්‍රමිතිය සමගින් මෙරට ජනතාව වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා දීමට අප සෑම විටම කැපවනවා" ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සඳහන් කළේය.

    සිය රසායනාගාර සේවා සඳහා ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් සම්බන්ධ කර ගැනීම පිළිබඳ අදහස් පළ කරමින් කොළඹ රෝයල් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් රණවීර මහතා ප්‍රකාශ කළේ, තමන් වසර 15ක පමණ කාලයක් පුරා රසායනාගාර සේවා ලබා දීමට කටයුතු කළ ද, රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සඳහා රසායනාගාර සේවා විශේෂඥයෙකු සම්බන්ධ කර ගැනීමට තීරණය කළ බවය. " ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් යනු, නව්‍ය තාක්ෂණය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම ක්‍රමවේදයන් ඔස්සේ උසස්ම ප්‍රමිතියෙන් යුතුව, කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් කීර්තිමත් නාමයකට හිමිකම් කියන රසායනාගාරයකි"

    "අපගේ රෝගීන් හට දැන් ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් රසායනාගාරය තුළින් දැරිය හැකි මිලකට විශ්වසනීය සේවාවක් කඩිනමින් ලබා ගත හැකි වනවා" යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අනුව, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් මගින් ලබා දෙන පරීක්ෂණ වර්ග 1050 කට අධික සංඛ්‍යාවක් සහ විශේෂඥ පරීක්ෂණ 84 කට අධික සංඛ්‍යාවක් රෝයල් රෝහලේ රෝගීන් හට සිදුකර ගත හැකි අතර, රෝයල් රෝහලෙන් හෝ කොළඹ නගරය තුළ හා ඒ අවට පිහිටි 30කට අධික ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් සාම්පල එකතු කිරීමේ ඒකක මගින් එකතු කර ගත හැකිය. රසායනාගාර වාර්තාව සූදානම් වූ පසුව රෝයල් රෝහලේ රෝගීන්ට සිය ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබේ. ඊට අමතරව, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෙබ් අඩවියෙන් සිය වාර්තාව පරික්ෂා කිරීම සඳහා ආරක්‍ෂිත ප්‍රවේශයක් ද හිමි වීම විශේෂත්වයකි.

    "මෙරට රෝගීන් සමග දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගනිමින් අප සමාජයට ඉටු කරන සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා රෝයල් රෝහල සමග ඇතිකර ගත් මෙම සබඳතාව වඩාත් ඉවහල්වනු ඇති බව අපගේ විශ්වාසයයි. අපගේ රෝගීන් හට උපරිම සේවාවක් ලබා දීම සඳහා අප නිබඳව කැපවන අතර, අපගේ කාර්යමණ්ඩලය, ක්‍රමවේද, උපාංග සහ තොරතුරු තාක්ෂණ යටිතලපහසුකම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට ද කටයුතු කරනවා. අපගේ සේවය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වෑයමේ එක් අදියරක් ලෙස මහනුවර සහ කරාපිටිය යන ප්‍රදේශවල නවීන පහසුකම්වලින් සමන්විත වෛද්‍ය රසායනාගාර ස්ථාපනය කිරීමට අප කටයුතු කරනවා." ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් අධ්‍යක්ෂිකා මහාචාර්ය දිලනි ලොකුහෙට්ටි මහත්මිය අදහස් පළ කළාය.

    ලෝක මට්ටමේ, නව්‍යකරණ වෛද්‍ය පර්යේෂණ හා රසායනාගාර පහසුකම් ලබා දීම වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, නුදුරේදීම ඇමරිකානු වෛද්‍යවේදීන්ගේ සංගමයේ අනුමැතියට ලක් වීමට නියමිතය.

    CAP අනුමැතිය, රසායනාගාර ක්ෂේත්‍රයේ ස්වර්ණමය ප්‍රමිති ලකුණ ලෙස පිළිගැනේ. එය, රසායනාගාර තත්ත්ව ආරක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ද සැලකේ. ඇමරිකානු වෛද්‍යවේදීන්ගේ තත්ත්ව සම්මානය මගින් වගකීම්සහගත, ප්‍රමිතියෙන් උසස් සහ ගෙවන මුදලට වැඩි වටිනාකමක් දෙන සේවාවක් තහවුරු කෙරේ.