October, 24, 2023
කොවිඩ් වසංගතය හමුවේ අහිමි වූ තම සංචාරක වෙළෙඳපොළ කොටස යළි හිමි කර ගැනීම සඳහා බොහෝ ආසියානු සංචාරක ගමනාන්තයන් මේ වන විට දැඩි තරගයකට අවතීර්ණ වී සිටින අතර රටවල් බොහොමයක් සංචාරකයින්හට ගාස්තු අය කිරීමකින් තොරව වීසා නොමිලයේ ලබා දීමට පියවර ගනිමින් සිටී.
එබැවින්, පාස්කු ඉරු දින ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ බරපතල ආර්ථික අර්බුදය හමුවේ පසුබෑමකට ලක් වී ඇති මෙරට සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ඉදිරි වසර 03ක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 05ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සහිතව අග්‍රාමාත්‍යවරයා, සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනා අනුව පහත සඳහන් පරිදි පියවර ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
i. 2024-03-31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසීයාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයින්හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් වහාම ක්‍රියාත්මක කිරීම.
ii. විදේශ සංචාරකයින්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ගෙවා මිල දී ගැනීමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම.
ii. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර අලෙවිය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබා ගන්නා පොදු ප්‍රවේශපත්‍රයක් ලෙස ගුවන්තොටුපොළේදීම මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම.
Video Story