ලංකා කුරුඳු සඳහා GI පාලන සැලසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථ එළිදැක්වෙයි

    December, 20, 2022

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක (GI) පාලන සැලසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථය එළිදැක්වීම පදුගියදා කොළඹ දී සිදුවිය. ප්‍රකාශනය සඳහා මූල්‍ය ආධාර සපයන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (International Finance Corporation-IFC) සහ යුරෝපා සංගමය (European Union) විසිනි.

    ශ්‍රී ලංකාවට ප්‍රථම වරට භූගෝලීය දර්ශක (GI) සහතිකය ලැබුණේ 2022 පෙබරවාරි 02 වැනි දින යුරෝපා සංගමය (EU) විසින් ලංකා කුරුඳු සඳහා GI තත්ත්වය ලබා දීමේ ස්වර්ණමය අවස්ථාවත් සමගය.

    GI වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් සිදු කරන ලදී. මාර්ගෝපදේශ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම මෙම ක්‍රියාකාරකම්වල කොටසක් වන අතර මෙරට කුරුඳු වටිනාකම් දාමයේ ගොවීන්, සැකසුම්කරුවන් සහ අනෙකුත් සහභාගිවන්නන් දැනුවත් කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත මෙම මාර්ගෝපදේශ ග්‍රන්ථ ප්‍රථමයෙන් ලබා දෙනු ඇත.

    ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක පාලන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (International Finance Corporation-IFC) සහ යුරෝපා සංගමය (European Union-EU)  යන දෙඅංශයේම මූල්‍ය අනුග්‍රහය ඇතිව, දිස්ත්‍රික්ක 11 ක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 337 ක් ආවරණය වන පරිදි පුහුණු (TOT) වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල්, දකුණු ආසියාවේ නිර්මාණාත්මක අලෙවිකරණ උපදේශක සේවා කළමනාකාරිනී Selma Rasavac, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් රණවීර, අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්.කේ.ඩබ්. රන්කෙත් කුඹුර යන මහත්ම-මහත්මීහු සහභාගී වූහ.

    Video Story

    Stock Market

    Exchange Rates