ලංකා හොස්පිටල්ස් අඛණ්ඩවම සිව් වැනි වසරටත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ‘නිල සුව සේවා සහකරු’ ලෙසින් සවිය දෙයි

    February, 2, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් පී.එල්.සී මෙරට කීර්තිමත් රග්බි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නිල සුව සේවා සහකරු වශයෙන් අඛණ්ඩවම සිව් වැනි වසරටත් අනුග්‍රාහකත්වය දක්වනු ඇත. හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් 2023 වසර සඳහා සිය අනුග්‍රාහකයින් පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දීම සඳහා පසුගියදා එම ක්‍රීඩා සමාජයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කෙරිණි.

    හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නිල සුව සේවා සහකරු වශයෙන් ලංකා හොස්පිටල්ස් සිය ක්‍රීඩා වෛද්‍ය ඒකකය හරහා හැව්ලොක් ක්‍රීඩකයින්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය සඳහා සහය දැක්වීම සිදු කරනු ඇත.

    සිව්වන වසරටත් අඛණ්ඩවම පවත්වා ගෙන යනු ලබන අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස්හි ප්‍රධාන අලෙවි නිලධාරී නිමල් රත්නායක මහතා මෙසේ පැවසීය. “හැව්ලොක් ක්‍රීඩා සමාජය පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික රග්බි ලෝලීන්ගේ හදවතට ඉතාම සමීප කීර්තිමත් ක්‍රීඩා සමාජයක්. හැව්ලොක් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ රග්බි පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදුකර ඇති මෙහෙවර වචනවලින් කියා නිම කළ නොහැකි තරම්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ ලංකා හොස්පිටල්ස් විසින් උසුලන ගෞරවනීය තත්ත්වය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ හැව්ලොක් ක්‍රීඩා සමාජයට හිමි තත්ත්වය හා සම වන බව මගේ අදහසයි. ඒ නිසා මේ ශක්තිමත් සහයෝගීතාවය අඛණ්ඩවම ඉදිරියට පවත්වා ගෙන යාමට ලැබීම අපට විශාල සතුටක්. ඒ වගේම ගෞරවනීය ආයතනික පුරවැසියෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සහය වීමට හැකි වීම අපට ආඩම්බරයක්.”

    හැව්ලොක් ක්‍රීඩා සමාජය වසර 107 කට වැඩි ඉතිහාසයක් හිමි දිවයිනේ පැරණිතම සහ ගෞරවනීයතම රග්බි ක්‍රීඩා සමාජයක් වන අතර එයින් වැඩි කාලයක් පුරාවට දේශීය රග්බි පිටිය තුළ පෙරමුණේම සිටි ක්‍රීඩා සමාජයකි. එමෙන්ම හැව්ලොක් ක්‍රීඩා සමාජය වර්තමානයේදී පැවත්වෙන අන්තර් සමාජ රග්බි ලීගයේ ශූරතාවය දිනා ගැනීමට පෙරමුණෙහි සටන් වදින ක්‍රීඩා සමාජ අතුරින් එකකි.

     

    ඡායාරූපය: වමේ සිට: හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සභාපති තුසිත පීරිස්, ප්‍රධාන පුහුණුකරු සනත් මාර්ටිස්, කණ්ඩායමේ උප නායක විමුක්ති රාහුල, නායක උමේෂ් මධුෂාන්, ලංකා හොස්පිටල්ස් ප්‍රධාන අලෙවි නිලධාරී නිමල් රත්නායක, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ලේකම් රොෂාන් ඕපාත යන මහත්වරුන්.