• Ada Derana BIZ Sinhala
  • Lanka Hospitals
  • sri lanka

ලංකා හොස්පිටල්ස්  අයි. වී. එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම සාර්ථකව පසු කරයි

November, 22, 2022

ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් සිය රෝහල තුළ සිදු වූ 1500 වැනි IVF දරු උපත පසුගියදා සැමරීය. ලංකා හොස්පිටල්ස් රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානය විසින් පසුගියදා රෝහලේදී පැවත්වුණු විශේෂ උත්සවයකදී මෙම නිවේදනය සිදු කෙරිණි.

“දැනට වසර 20 ක කාලයක් පුරා ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා ප්‍රතිකාරය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. දරුවන් අපේක්ෂාවෙන් පසුවන සිය ගණනක් පවුල්වලට අපේ සහය විශාල අස්වැසිල්ලක් වුණා. අපේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සමරන මේ මොහොත්දී ඊට හේතු සාධක වුණු අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ අති නවීන පරීක්ෂණාගාර සහ තාක්ෂණය මෙහිදී මතක් කළ යුතුමයි” යැයි ලංකා හොස්පිටල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.

“ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පැහැදිලිව පෙන්වා දෙනවා ඉක්සි සහ ඉම්සි ක්‍රම හරහා පිළිසිඳ ගැනීමේ හැකියාව ඉතා ඉහළ බව සහ සාර්ථකව පිළිසිඳ ගැනීමට ඇති හැකියාව ඉතා ඉහළ බව අපි සනාථ කර තිබෙනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සායනික කළලවේදී වෛද්‍ය මදාරා රැළපනාව මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

“වෙනත් ක්‍රමවේද හරහා සාර්ථකව පිළිසිඳ ගැනීමට නොහැකි වූ යුවළවලට තිබෙන හොඳම විසඳුම අයි.වී.එෆ. හෝ ඉක්සි ක්‍රමයන් හරහා ඒ සඳහා උත්සාහ කිරීමයි. අනෙකුත් ක්‍රමවේදවලට සාපේක්ෂව මේ හරහා සාර්ථක වීමට ඇති අවස්ථාව ඉතා ඉහළයි. ඒ වගේම එයින් ලැබෙන ප්‍රතිලාභ අති විශාලයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මහතා පැවසීය.

අයි. වී. එෆ්. (IVF) නමින් හැඳින්වෙන කෘතිම සංසේචනයෙන් මඳසරු බව නිසා දරු සම්පත් ලැබීමට අපහසු විවාහක යුවල වෙනුවෙන් භාවිතා කෙරෙන සාර්ථක ක්‍රමවේදයකි. මේ යටතේ කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ලබාගන්නා ඩිම්බ පුරුෂ ශූක්‍රාණුවක් සමඟ විද්‍යාගාරයක් තුළ කෘතීවම සංසේචනය කර කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරනු ලබයි. ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා සායනය මඳසරු බව වෙනුවෙන් කරන ප්‍රතිකාරයන් සඳහා ශ්‍රී ලංකාවේ පුරෝගාමී මධ්‍යස්ථානයකි.

අයි. වී. එෆ්. (IVF) ක්‍රමවේදයට අමතරව ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානය ඉක්සි තාක්ෂණය (ICSI - Intra Cytoplasmic Sperm Injection) සහ ඉම්සි තාක්ෂණය (IMSI - Intracytoplasmic Morphologically Selected Sperm Injection) නමින් හැඳින්වෙන මඳසරු බව සඳහා යොදා ගන්නා අනෙකුත් දියුණු ප්‍රතිකාර ක්‍රමවේදයන් සඳහාද ප්‍රවීණත්වයක් හිමි ප්‍රතිකාර මධ්‍යස්ථානයකි.

මෙයින් ICSI යනු පුරුෂ පාර්ශවයේ දැඩි මඳසරු බවට පිළියමක් වශයෙන් හෝ සාමාන්‍ය IVF ක්‍රමවේදය යටතේ සරුබවට පත් කිරීමට ගන්නා උත්සාහය නැවත නැවත අසාර්ථක වන අවස්ථාවන්හිදී යොදා ගන්නා දියුණු ක්‍රමවේදයකි. මේ යටතේ තෝරාගත් එක් නිරෝගී සාර්ථක ශුක්‍රාණුවක් ක්ෂුද්‍ර අන්වීක්ෂයක් ආධාරයෙන් සරු ඩිම්බයකට එන්නත් කරනු ලැබේ. මෙලෙස කෘතීමව සංසේචනය කරන ලද ඩිම්බය වර්ධනය වී කළලයක් බවට පත් වීම සඳහා බීජෞෂකයක (incubator) තැන්පත් කරනු ලබයි.

ඉම්සි (IMSI) ක්‍රමවේදයේදී සිදුවන්නේ ඩිම්බයක් හා ශුද්ධ එන්නත්කරණ මගින් සංසේචනය කිරීමට ශුක්‍රාණුවක් තෝරා ගැනීමේදී අධිතාක්ෂණික ඩිජිටල් රූපකරණ අන්වීක්ෂයක් යොදා ගෙන ඉතා සමීපව ශුක්‍රාණුවල හිස සහ ගෙල ප්‍රදේශයන්හි අසාමාන්‍යතාවයන් අධ්‍යයනය කර වඩාත් සුදුසුම ශුක්‍රාණුව තෝරා ගෙන සංසේචනය සිදු කිරීමයි.

මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් අනතුරුව සංසේචනය කරන ලද ඩිම්බය කළලයක් දක්වා වර්ධනය වන තුරු බීජෞෂකයක තැන්පත් කරනු ලබන අතර ඉන් අනතුරුව කළලය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලැබේ. මෙහිදී ඉතිරි වන කළල ශීතකරණය කර නැවත ගැබ් ගැනීමක් සඳහා අවශ්‍ය නම් භාවිතා කිරීමට වසර 5 ක කාලයක් සඳහා ආරක්ෂිතව ගබඩා කර තබා ගත හැකිය.

මෙම සියලු සේවාවන්ට අමතරව ලංකා හොස්පිටල්ස් විසින් සාඵල්‍යතා ප්‍රතිකාර ආරම්භයට පෙර නිරෝගී දරුවෙක්ගෙන් පිළිසිඳ ගැනීම වෙනුවෙන් පූර්ව අධිරෝපණ ප්‍රවේණි ජාන පරික්ෂාව (PGT) නම් පරීක්ෂණයද සිදු කරනු ලබයි. මෙහිදී සිදු කෙරෙන්නේ කළලයක් තැන්පත් කිරීමට ප්‍රථම එයින් වෙන් කරගත් සෛල යොදා ගෙන කළලය සම්බන්යෙන් ජානමය අධ්‍යයනයක් සිදු කර ජානමය ගැටලු තිබේ දැයි සොයා බැලීමයි. එම නිසා පී.ජී.ටී. (PGT) ක්‍රමය IVF/ICSI හරහා ලබා ගන්නා කළලයක නීරෝගී බව තහවුරු කරන උපකාරක තාක්ෂණයක් වශයෙන් හැඳින්විය හැකිය.

වර්ග දෙකකට අයත් PGT පරීක්ෂණ සේවාවන් ලංකා හොස්පිටල්ස් විසින් ලබා දෙන අතර එයින් ඇනවුස්ලොයිඩ් (PGT-A) පරීක්ෂණය හරහා ඩවුන් සින්ඩ්‍රෝමය සහ ටර්නර් සින්ඩ්‍රෝමය වැනි ජානමය රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමත් PGT-M පරීක්ෂණය හරහා තැලිසීමීයි හා වැනි ජාමනය තත්ත්වයන් හඳුනා ගැනීමත් සිදු කෙරේ.

ලංකා හොස්පිටල්ස් සිය උසස් සෞඛ්‍ය සේවා ප්‍රමිතිය වෙනුවෙන් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීම් දිනාගත් ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහලකි. Joint Commission International (JCI) - 7th Edition සහතිකකරණය, Medical Travel Quality Alliance (MTQUA) වෙතින් ලබා දෙන ලොව පිළිගත් වෛද්‍ය සංචරණ සහතිකකරණය ඒ අතරින් ප්‍රමුඛ සහතිකකරණ කිහිපයකි. එමෙන්ම ලංකා හොස්පිටල්ස් ඩිග්නෝස්ටික්ස් (LHD) ලොව කීර්තිමත් College of American Pathologists (CAP) වෙතින් පර්යේෂණාගාර සහතිකකරණය ලබා ඇති ශ්‍රී ලංකාවේ එකම පර්යේෂණාගාර සේවාවයි.

ලංකා හොස්පිටල්ස් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර

ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සායනික කළලවේදී වෛද්‍ය මදාර රැළපනාව

ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය

 

ඡායාරූප විස්තරය - ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි