ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ හෙද හිස්වැසුම් පැළඳවීමේ උත්සවය සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්වෙයි

    May, 30, 2023

    ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ 2019 කණ්ඩායමේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැති අතර 2021 කණ්ඩායමට හෙද හිස්වැසුම් පැළඳවීමේ උත්සවය ද ඊට සමගාමීව පැවැත්විණ. තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත්, NVQ 6 වැනි සාධන මට්ටමේ විෂය මාලාවකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කරන උසස් ජාතික ඩිප්ලෝමාවක් සහිත ලංකාවේ පළමු හෙද විදුහල වන්නේ ද ලංකා හොස්පිටල්ස් හෙද විදුහලයි. මෙහිදී 2021 කණ්ඩායමේ සිසුන් 51 දෙනෙකු NVQ 6 වැනි සාධන මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරන දෙවන කණ්ඩායම වශයෙන් හෙද හිස්වැසුම් පැළඳවීමේ උත්සවයට සහභාගී වූ අතර හෙද ඩිප්ලෝමාව අවසන් කළ 2019 කණ්ඩායමේ හෙදියන් 37 දෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයට සම්බන්ධ වූහ.

    ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ පුහුණු හෙද වෘත්තිකයන් වෙනුවෙන් ඉහළ යමින් පැවැති ඉල්ලුම සපුරාලීම අරමුණු කර ගනිමින් 2001 වසරේදී ලංකා හොස්පිටල්ස් හෙද විදුහල ආරම්භ කරන ලද අතර එතැන් පටන් ලංකා හොස්පිටල්ස් වෙත පුහුණු හෙද වෘත්තිකයන් සැපයීමේ ප්‍රධන සැපයුම්කරු වූයේ ද ලංකා හොස්පිටල්ස් හෙද විදුහලයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා වාර්ෂිකව සිසුන් 50කට ආසන්න පිරිසක් බඳවා ගැනෙන අතර පාඨමාලාව අවසානයේ ඉහළ දැනුමකින් සහ ගුණාත්මක බවකින් යුතු හෙද වෘත්තිකයන් බිහි කිරීමට හැකි වී ඇත.

    “ලංකා හොස්පිටල්ස් හෙද විදුහල පසුගිය දශක දෙක පුරාම සුදුසුකම් ලත් සහ මනා පුහුණුවක් සහිත හෙද වෘත්තිකයන් බිහි කිරීමෙන් ලංකා හොස්පිටල්ස් සමූහයට වගේම සමස්ත සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයටම විශාල ශක්තියක් වෙලා තියෙනවා. වසර ගණනාවක් පුරා ඒ ප්‍රමිතිය පවත්වාගෙන යාම වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය දරන මහන්සිය සහ කැපවීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙනවා.“ යැයි ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    “හෙද වෘත්තිකයෙකු ලෙස පුහුණුව ලැබීම දැඩි කැපවීමක් සහ විනයක් අවශ්‍ය බරපතළ ක්‍රියාවලියක්. සෙසු හෙද විදුහල් අතරින් ලංකා හොස්පිටල්ස් හෙද විදුහල කැපී පෙනෙන්නේ අපි අපේ හෙද සිසුන්ට ඒ ක්‍රියාවලිය පහසු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම අරන් තියෙන නිසා.“ යැයි ලංකා හොස්පිටල්ස් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා පැවසුවේය.

    අධ්‍යාපනයේ සහ පුහුණුවේ ගුණාත්මක බවට අමතරව ලංකා හොස්පිටල්ස් හෙද විදුහල සිසුන්ට සපයන පහසුකම් සහ ඔවුන්ට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ද ඉහළ කීර්තියක් උසුලයි. ඒ අනුව සියලුම සිසුන්ට නවාතැන් සහ නිල ඇඳුම් සමඟ නොමිලේ වෛද්‍ය රක්ෂණයක් ද සපයා ඇති අතර පුහුණු කාල සීමාව තුළ රෝහලේදී සිදු කරන සායනික කටයුතු වෙනුවෙන් දීමනාවක් ගෙවීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

    2019දී ලංකා හොස්පිටල්ස් අධ්‍යයන ආයතනය ආරම්භ කරන ලද්දේ සෞඛ්‍ය සේවය විසින් අපේක්ෂා කරන මනා නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පුහුණු කිරීම සහ බිහි කිරීම අරමුණු කර ගනිමිනි. ලංකා හොස්පිටල්ස් අධ්‍යයන ආයතනය විසින් පිරිනමනු ලබන වැඩසටහන් සිසුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයෙන් ඉතා සියුම්ව සකසා ඇති අතර එම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ ලංකාවේ ඉහළම තලයේ වෛද්‍ය වෘත්තිකයන් සහ අධ්‍යාපනික වෘත්තිකයන් විසිනි. එසේම, ලංකා හොස්පිටල්ස් හෙද විදුහල ලංකා හොස්පිටල්ස් අධ්‍යයන ආයතනය විසින් පිරිනමනු ලබන වඩාත් සාර්ථකම ඉගැන්වීම් වැඩසටහන වන අතර එය මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ වඩාත් සාර්ථකම හෙද විදුහලක් ද වෙයි.