ලක්ලෝ තීන්ත නිෂ්පාදන හා ටයිටේනියම් ආයතනය ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන දිනයි

    January, 27, 2025

    ලක්ලෝ තීන්ත නිෂ්පාදන සහ ටයිටේනියම් ආයතනය 2024 ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ නැගී එන ‘බිම සහ බිත්ති සඳහා යොදා ගත හැකි පස් පදනම් කර ගත් ටයිල් විකල්ප නිෂ්පාදන සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. සම්මාන උළෙලේදී ආයතනයේ හිමිකරු වන ස්ටැන්ලි ජයසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. වසර 25ක අත්දැකීම් සහිත ලක්ලෝ ආයතනය නව්‍යකරණය, ගුණාත්මකභාවය, පාරිභෝගික තෘප්තිය පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරයි. එම ආයතනය ඕනෑම ගොඩනැගිල්ලක බිම, බිත්ති, වහලය සහ බිත්ති අතර කොටස වැනි ස්ථාන සඳහා ඒ ඒ ගොඩනැගිල්ලට ආවේණික මෝස්‌තර නිර්මාණය කරයි. තද අළු ඇතුළු වර්ණ රැසකින් යුතු මෝස්‌තර නිර්මාණය කරන එම ආයතනය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් අවශ්‍ය සේවා සැපැයීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වී ඇත. නාන කාමර, පියගැට පෙළ, නිදන කාමර ආදී ඕනෑම ස්ථානයක බිම, බිත්ති සහ අනෙකුත් ඉඩකඩ සඳහා එම ආයතනය සපයන මෝස්‌තර කල් පැවැත්මෙන්ද ඉතා ඉහළ වේ.

    කුසලතාවලින් පරිපූර්ණ 200කට වැඩි වෘත්තිකයන් පිරිසක් සේවය කරන එම ආයතනය මේ දක්වා 500කට වැඩි ව්‍යාපෘති සම්පූර්ණ කර ඇත. 2,000කට වැඩි දෙස් විදෙස් පාරිභෝගිකයන්ට සේවා සපයා ඇති ලක්ලෝ ආයතනය සෑම ව්‍යාපෘතියක්ම නියමිත කාලයට සැළැසුම් කළ වියදම යටතේ සම්පූර්ණ කරයි. ඕනෑම පෞද්ගලික හෝ වාණිජ ගොඩනැගිල්ලක ඇතුළත සහ පිටත සඳහා නව්‍යකරණයෙන් යුතු මෝස්‌තර විසඳුම් අවශ්‍ය නම් ලක්ලෝ සේවය ගත හැකිය. දියර ටයිටේනියම්, නොදිලිසෙන තීන්ත සහ ටයිල්, බිත්ති පොටි, ෆිලර්, තෙතමනය වළකන ටොප්කෝට් එම ආයතනයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. ලක්ලෝ ආයතනය තිරසාර සහ ඔවුන්ටම ආවේණික පුද්ගලාරෝපිත මෝස්‌තර විසඳුම් සපයයි. මෙම නම්‍යශීලිත්වය නිසා පාරිභෝගිකයන් අතර විශ්වාසනීය නාමයක් දිනා ඇති එම ආයතනය සෑම ව්‍යාපෘතියක්ම සම්පූර්ණ කරන්නේ පාරිසරික සහ සදාචාරාත්මක ප්‍රමිතිවලට අනුවය. මීට පෙරද ඔවුන් දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇත.