ලක් සතොස ප්‍රතිව්‍යුහගත කිරීම KPMG සමාගමට. භාණ්ඩාගාරයෙන් සතොසට බිලියන 7.5 ක්

    June, 24, 2015

    දැවැන්ත පාඩුවක් ලබා තිබෙන ලක් සතොස නව මුහුණුවරකින් ආරම්භ කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 7.5 ක් ලබාගන්නා බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම (Restructure) සඳහා KPMG සමාගමට භාරදී තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීය.

    ඔහු අද කොළඹදී පැවසුවේ ලක් සතොස ආයතනයේ ගබඩා කිරීම, අලෙවිකරණය ඇතුළු සියළු අංශ වෙනත් තරගකාරී සුපිරි වෙළඳ සැල් සමග තරග කිරීමට හැකි ආකාරයෙන් ප්‍රතිව්‍යුගතකිරීම KPMG සමාගම විසින් සිදුකරනු ඇති බවයි.

    මෙම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව දැනට ශාඛා 305 ක් තිබෙන ලක් සතොස ආයතනයේ ශාඛා ප්‍රමාණය මේ වසරේදී තවත් ශාඛා 50 කින් වර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    ලක් සතොස ආයතනයේ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 03 ක පමණ මුදලක්ද බැංකු වලට රුපියල් බිලියන 10 ක පමණ මුදලක්ද ණය වශයෙන් ගෙවිය යුතුව ඇතැයි බදියුදීන් අමාත්‍යවරයා පෙන්වා දුන් අතර පැවසුවේ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 7.5 ක මුදලක් නොමැතිව මෙම ආයතනය ගොඩගත නොහැකි බවයි.

    මේ වනවිට, මෙම ආයතනයේ රුපියල් බිලියන 08 ක පමණ සහල් තොග තිබෙන බවත් ඒවා විකුණා මුදල්කර ගත හැකි බවත් අමාත්‍යවරයා කීය. කෙසේවෙතත්, විකුණා ගැනීමට නොහැකි තත්ත්වයේ රුපියල් බිලියනයක පමණ භාණ්ඩ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    පාඩු ලබන මෙවැනි රජයේ ව්‍යවසායන් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙන්නේ ජනතාවගෙන් එකතු කර ගන්නා බදු මුදල් වලිනි.