ලොව ප‍්‍රකට ඩිල්මා සිලොන් තේ සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

    February, 6, 2024

    නාගරික සංවර්ධන අධිකාරිය සහ ඩිල්මා සිලෝන් තේ සමාගම 2024 පෙබරවාරි මාස 01 දින බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ හී තීරාසාරත්වය වැඩිදියුණු කීර්මේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි.

    දේශිය සහ විදේශීය සංචාරකයන්ගේ පාරිසරික නවතැන්පළක් වී ඇති බැද්දගාන තෙත්බිම් උද්‍යානය, 2014 වසරේ දී ලෝක බැංකු ආධාර යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරිම් ආරම්භ කර 2016 වසරේ දී ජනතා අයිතියට පත් කරන ලද මනස්කාන්ත තෙත් බිම් උද්‍යානයකි.

    ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය තුළ පිහිටා ඇති මෙම තෙත් බිම් උද්‍යානය දේශිය කුරුළු විශේෂ රැසකගේ මෙන්ම සමනලූන්, බත්කූරන් සහ මසුන් විශාල ප‍්‍රමාණයකගේ නිවහන වී ඇත. සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටීමත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් අතීත කෝට්ටේ රාජධානියේහි කොටුපවුර අසළ පිහිටීමත් හේතුවෙන් මෙම උද්‍යානයට ලැබී ඇති වටිනාකම කියා නිම කල නොහැකිය. 2018 වසරේදි රැම්සා තෙත්බිම් අගනගරයක් ලෙස නම් කරන ලද ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය තුළ බැද්දගාන තෙත්බිම් උද්‍යානය පිහිටිම ද තවත් එක් සුවිශේෂී කරුණකි.

    මෙම උද්‍යානය රැක බලාගැනීම සහ කළමණාකරන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරනු ලබන අතර, පාසැල් සිසුන් සඳහා අධ්‍යාපනික වැඩමුළු, පාරිසරික චාරිකා,විශ්වවිද්‍යාල සිසුන් සඳහා පාරීසරික වැඩසටහන් මෙන්ම බාල තරුන මහළු සැම සඳහා විශේෂිත වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් මෙම උද්‍යානය තුල සිදු කරනු ලබයි. වර්තමානය වන විට WLI ආසියා ( Wetland Link international) ආයතනයේ සාමාජීකත්වය මෙම උද්‍යානයට හිමි වීමද මෙම උද්‍යානයට ජාත්‍යාන්තරව ඇති පිළිගැනීමට හොදම නිදසුන වේ. එමෙන්ම රැම්සා නැගෙනහිර ආසියා තෙත්බිම් ආයතනය (RRC-EA – Ramsar Regional Center – East Asia)   සමඟ එකතුව 2023 වසරේ සිට වැඩසටහන් රැසක් මෙම තෙත්බිම් උද්‍යානය තුළ සිදු කරන ලදි.

    නාගරික සංවර්ධන අධිකාරිය සහ ඩිල්මා සිලෝන් තේ ආයතනය එක්ව අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම හරහා බැද්දගාන තෙත්බිම් උද්‍යානය තුළ තෝරාගන්නා ලද අධ්‍යාපනික වැඩසටහන් සහ උද්‍යානය තුළ දැනට පවතින අලූත්වැඩිය කටයුතු සඳහා වසරක කාලයක් සඳහා ඩිල්මා ආයතනය සිය මුළ්‍යමය අනුග‍්‍රහයකත්වය ලබා දීමට එකඟතාවය පලකර ඇත. තවද ඩිල්මා සංරක්ෂණ ආයතනය හරහා ඔවුන්ගේ දැනුම ද තෙත්බිම් උද්‍යානයේ පරිසරික පද්ධතිය රැකබලා ගැනීම සඳහා ලබාදීමට එකඟතාවය ප‍්‍රකාශ කර ඇත.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේ අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති තුමන් වන නිමේශ් හේරත් මහතා සහ ඩිල්මා සිලෝන් තේ ආයතනය වෙනුවෙන් එහි සභාපති ඩිල්හාන් සී ප‍්‍රනාන්දු මහතා සහභාගී වන ලදි. තවද මෙම අවස්ථාව සඳහා පාරිසරික, කාලගුණික විපර්යාස සහ හරිත මූල්‍යන් පිලිබඳ අතිගරු ජනාධිපති තුමන්ගේ උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත‍්‍රී මහතා සහ නගරික සංවර්ධන අධිකාරියේ සහ ඩිල්මා සිලෝන් තේ ආයතනයේ නිළධාරීන් රැසක් සහභාගීවන ලදි.