වටවල “කළණ මිතුරු“ වෙතින් උඩුගම රෝහලට දැඩි සත්කාර ඒකකයක්

    September, 21, 2021

    උඩුගම, නෙළුව, තවලම, නාගොඩ, යක්කලමුල්ල, හිනිදුම, නාකියාදෙණිය ජනතාවට සෙත

    ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, නෙළුව, තවලම, නාගොඩ, යක්කලමුල්ල, හිනිදුම, නාකියාදෙණිය වැනි ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අනාගතයේදී සෙත සැලසෙන පරිදි වටවල වැවිලි සමාගම විසින් උඩුගම රෝහලේ ඇඳන් 05 කින් සමන්විත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක් මේ වනවිට ගොඩනගමින් තිබේ.

    උඩුගම රෝහලේ දැඩි සත්කාර ඒකකයක් නොමැති කමින් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට ලක්වන අතර එම අඩුපාඩුව මැනවින් හඳුනාගත් වටවල වැවිලි සමාගම සිය “කළණ මිතුරු“ ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත. මෙම දැඩි සත්කාර ඒකකය ගොඩනැගීමට සමගාමීව වටවල වැවිලි සමාගම විසින් උඩුගම රෝහලේ කාර්ය මණ්ඩලයද පුහුණු කිරිමට සැලසුම් කර තිබෙන අතර මෙම දැඩි සත්කාර ඒකකය ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 26 ක පමණ මුදලක් වැයවනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර තිබේ.

    මෙම දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු උඩුගම රෝහල් කමිටුවේ අධීක්ෂණය යටතේ මේ වනවිට රෝහල් පරිශ්‍රය තුළ සිදු කෙරේ.

    මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක ළහිරු සම්පත් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

    “අපි මේ දැඩි සත්කාර ඒකකය ළඟදීම විවෘත කරන්නයි බලාපාරොත්තු වෙන්නේ. විවෘත කළාට පස්සේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට අමතරව මේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයකටම තියන ප්‍රධානම දැඩි සත්කාර ඒකකය මෙය වෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙය අපි ගොඩනගා තිබෙන්නේ කොවිඩ් රෝගීන්ටත් ප්‍රතිකාර ලබාදිය හැකි දැඩි සත්කාර ඒකකයක් විදිහටයි. දැඩි සත්කාර ඒකකයක තිබිය යුතු සියළුම පහසුකම් මෙම දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කරනවා. මෙහි වැඩ කටයුතු මේ වනවිට සියයට 75 කට වැඩිය අවසන් කරලයි තියෙන්නේ. මේ වගේ වටිනා පරිත්‍යාගයක් මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කළ වටවල වැවිලි සමාගමට අපි ප්‍රදේශවාසීන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. රටේ ආර්ථිකය නැංවීමට දායකත්වය දක්වන අතරම වටවල වැවිලි සමාගම මේ තුළින් විශාල සමාජ මෙහෙවරක් කර තිබෙනවා.“

    මෙම දැඩි සත්කාර ඒකකය ගොඩනැගීමට දායකත්වය දැක්වීමට අමතරව වටවල වැවිලි සමාගම උඩුගම ප්‍රදේශයේ තරුණ තරුණියන්, දරුවන් සහ වැඩිහිටියන් ඉලක්ක කරගනිමින් සිය “කළණ මිතුරු“ ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබේ.