“වසරේ ගස“ (Tree of the year – Sri Lanka ) තරඟාවලිය දියත් කරයි

    February, 24, 2016

    The Carbon Consulting Company (CCC) - මෙරට පරිසරය සුරැකීමේ කාර්යයට උරදී කටයුතු කරන ආයතනයක් වන The Carbon Consulting Company විසින් දියත් කරන නව්‍ය ව්‍යාපෘතියක් ලෙස “ශ්‍රී ලංකාවේ වසරේ ගස “ තරඟාවලිය හැඳින්විය හැක. මෙම තරඟාවලිය මඟින් මෙරට ජෛව විවිධත්ව පද්ධතිය සුරක්ෂිත කිරීමට සහ ඒ පිළිබඳව තව දුරටත් ජනතාවගේ උනන්දුව සහ ආකල්ප වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

    දිවයින පුරා පාසැල් ළමුන් ඉලක්ක කරගෙන මෙම තරඟාවලිය ක්‍රියාත්මක වන අතර පාසැල් නියෝජනය කරන ශිෂ්‍ය සංවිධාන, සමාජ, සහ සංගම් මෙන්ම කණ්ඩායම් සඳහා මෙම තරඟය විවෘත වෙයි. මේ යටතේ “ වසරේ ගස“(Tree of the year – Sri Lanka ) හැටියට තම පාසැල පිහිටි ප්‍රදේශයේ පිහිටි ගසක් යොජනා කළ හැක. තමන් යෝජනා කරන ගසෙහි A4 ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් සමඟ මෙම යෝජනාව ඉඳිරිපත් කළ හැකි අතර එය “වසරේ ගස“ ලෙස නම් කිරීමට හේතු පැහැදිලි කරමින් විස්තරයක් ද සැපයිය යුතුවෙයි. (මෙහිදී ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත ගස් ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව කරුණාවෙන් සළකන්න).මෙලෙස යොමුකරන යොජනා අතුරින් වඩාත් වටිනා ගස, වඩාත් නිර්මාණශීලි විස්තරය සහ හොඳම ඡායාරූපය යන අංශ වලින් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතව තිබේ. මේ යටතේ ඒ ඒ අදාල පාසැල හෝ ශිෂ්‍ය සමිති, සංගම් මෙන්ම කණ්ඩායම් පමණක් නොව පාසැල් ඡායාරූප ශිල්පීන්ට ද ජයග්‍රාහකයින් වීමට අවස්ථාව හිමිවෙයි.

    The Carbon Consulting Company හා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය මෙන්ම බ්‍රිතාන්‍ය කවුන්සිලය ද ඒකාබද්ධ ව මෙම ව්‍යාපෘතිය සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය සතු බිම් මට්ටමේ සංවිධාන ශක්තිය මෙම වැඩපිළිවෙල සාර්ථක කිරීම සඳහා යොදවනු ඇත.

    මෙම තරඟාවලිය පිළිබඳව අදහස් දක්වන The Carbon Consulting Company හි ප්‍රධාන විධායක නිලධාරි සනිත් ද සිල්වා විජේරත්න මහතා සඳහන් කළේ සියලු දෙනා සඳහාම “හරිත හෙටක් “ තැනීමේ අපේක්ෂාව ඇතිව තම ආයතනය නිරතුරුවම කටයුතු කරන බවයි. මේ සඳහා ජනතා ආකල්පය වර්ධනය කිරීම සිය අපේක්ෂාව බව පවසන ඒ මහතා පෙන්වා දෙන්නේ, පරිසර සුරක්ෂිතතාව, ජෛව විවිධත්වය සුරැකීම පිළිබඳ පණිවුඩය ජනතාව අතර ස්ථාපිත කිරීම සඳහා මෙම තරඟාවලිය සංවිධානය කරන බවයි. යුරෝපයේ අති සාර්ථක ලෙස මෙම “වසරේ ගස“ වැඩසටහන ක්‍රියාත්මක බවත්, ඉන් ඔබ්බට ගිය සාර්ථකත්වයක් ශ්‍රී ලංකාවේදී අත්විඳිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.පාසැල් සිසුන් මේ සඳහා දායක විම හරහා ශිෂ්‍ය කණ්ඩායම් අතර පරිසර හිතකාමීත්වය වර්ධනය වන අතර ජෛව විවිධත්වය සහ වටිනාකම ආදී ආකල්ප ද ඔවුන් අතර වර්ධනය වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි. එමෙන්ම මේ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහය හිමිවීම නිසා මෙම තරඟාවලිය අති සාර්ථක කරගැනීමට හැකිවනු ඇති බවත් අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා මේ වනවිට Eswaran Brothers Exports සහ Rainco Group වැනි ආයතන එකඟතාව පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වු බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් මේනාර්ඩ් සඳහන් කළේ පරිසරය සුරැකීම සිය ආයතනයේ ප්‍රමුඛ කාර්යයක් බවයි. අගනා ජෛව විවිධත්වයක් හිමි ශ්‍රී ලංකාව වාසනාවන්ත රටක් බවත් එහි සුවිශේෂි ගුණය සුරැකීම සැමගේම වගකීමක් බවත් ඒ මහතා සඳහන් කරයි. කොළඹ වැනි නාගරික ස්ථානවල වුව පවතිව සුවිසල් තුරුලතා මගින් ශ්‍රී ලංකාව තවදුරටත් පරිසරය හා බැඳුනු දේශයක් බව තහවුරු කෙරෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.මෙම තරඟාවලිය යටතේ අළුත් තුරුළතා හදුනා ගැනීමට බොහෝ දෙනෙකුට අවස්ථාව සැලසෙනු ඇති බවත් එමඟින් එම තුරුළතා සුරැකීමට පෙර වඩා වැඩි දායකත්වයක් උනන්දුවක් දක්වනු ඇති බව විශ්වාස කරන බව ද බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නියොජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. Carbon Consulting Company වැනි ආයතන මෙවැනි සද්කාර්යයන් සඳහා පෙරට ඒම අගය කරන බවද හෙතෙම සඳහන් කළේය.

    ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය පරිසරය සුරැකීම සඳහා ව්‍යාපෘති රැසක් දියත් කරමින් සිටින සංගමයකි.වසර ගණනාවක් පුරා එම ව්‍යාපෘති වල නිරතව සිටිව එම සංගමය පරිසර වැඩසටහන් ගණනාවක්ද මෙහෙයවා තිබේ. තානාපති වරුන් සඳහා මිහිතල දිනය, පාසැල් සඳහා පරිසර තරු ප්‍රදානය කිරීමේ වැඩසටහන ආදී පරිසර හිතකාමී වැඩසටහන් රැසක් එම සංගමය විසින් දියත් කර තිබේ.

    මෙම “වසරේ ගස (Tree of the year – Sri Lanka ) තරඟාවලිය පිළිබඳ වැඩිදුර විස්තර www.treeoftheyear.net යන නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.