August, 7, 2023
ඇමරිකානු වෙළඳපොල වෙත පමණක් සිය නිෂ්පාදන අපනයන කළ ඇගැළුම් කම්හල් දෙකක් ඇමරිකා හා චීන අර්බුද හමුවේ වසා දැමීමට පසුගියදා සිදුවිය. මෙමගින් ජීවිකාව සරිකර ගත් 2,500කට පමණ රැකියා අහිමි වූහ.කොග්ගල ආයෝජන සැකසුම් කලාපයේ පිහිටා ඇති මෙම කම්හල් සතු යන්ත්‍ර සූත්‍රවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනකි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත මෙරට පුරෝගාමී සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම කම්හල් දෙක නැවත බල ගන්නට එක් වී සිටී. ඒ අනුව ඒස් ඇපරල්ස් යටතේ මෙම කර්මාන්ත ශාලා දෙක නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී. මේ සදහා ප්‍රථම අදියරේදී ඇමරිකානු ඩොලර් මිලියන 3.6කට වැඩි මුදලක් සමාගම විසින් ආයෝජනය කරයි.
අදාල ගිවිසුමට අත්සන් තැබීම පසුගිය 28 දා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා එයිට්කන් ස්පෙන්ස් සමාගම වෙනුවෙන් අධ්යක්ෂ ආචාර්ය රොහාන් එම් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නව දැක්මක් යටතේ ක්‍රියාත්මක වන මෙම කම්හල නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ජනිත කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලුෂාන් පෙරේරා මහතා පවසයි. මාස 2ක් තුල නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම පවසයි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තරගකාරී නිෂ්පාදනයන්ට යොමු වීමත්, නව වෙළඳපොල සොයා ගැනීමත් තම සමාගමේ අපේක්ෂාව බවත්, ඒ සදහා නැගී එන ආසියාවේ ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව මෙන්ම ජපානය වැනි රටවල නව වෙළඳපොල කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවද පැවසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කොග්ගල ආයෝජන සැකසුම් කලාපයේ අධ්යක්ෂ ප්‍රියංක රණතුංග මහතා අදහස් දක්වමින් මේ වනවිට කොග්ගල කලාපයේ 11,000ක පමණ ශ්‍රම බලකායක් විදේශ විනිමය ඉපැයීමට උර දෙන අතර නව කර්මාන්තශාලා ආරම්භයත් සමග එම ප්‍රමාණය 13,500 ක් දක්වා ඉහල යා හැකි බවත්, මීට අමතරව වක්‍ර රැකියාද විශාල ප්‍රමාණයක් බිහිවනු ඇතැයිද පවසයි. ඇඟළුම් ඇණවුම්වල පවතින හිඟය වසර අවසානය වන විට යථා තත්වයට පවත්වුණු ඇතැයි පුරොකථනය කර ඇති අතර ඒ සදහා අවශ්‍ය කර්මාන්ත ශාලා සවිබල ගැන්වීමද මේ අනුව සිදු වන බවද හෙතෙම පැවසීය.

Video Story