ව්‍යවසායකත්වය හා නවෝත්පාදනය දිරිගන්වන SLT-MOBITEL mSpace ‘Code Blast’ National Hackathon 2023

    September, 6, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, මෙරට තුළ සැබෑ ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් hSenid Mobile Solutions සමග එක් වී mSpace 'Code Blast' National Hackathon 2023 දියත්කරන ලදී. 2023 සැප්තැම්බර් මස 30 වන දින, කොළඹ 10 Trace Expert City හිදී පැවැත්වෙන මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක ප්‍රවීණයන් ඇතුළත්වනු ඇත.

    මෙම තරගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පශ්චාත් උපාධි හදාරන්නන්, කථිකාචාර්යවරුන් සහ ව්‍යවසායකයන් ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් පිරිස්වලට තම නිර්මාණ යෝජනා විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ජයග්‍රහණ හා තෑගි දිනාගැනීමට අවස්ථාව හිමි වේ.

    මෙහිදී තරගකරුවන් SLT-MOBITEL  හරහා ක්‍රියාත්මකවන, පූර්ණ යෙදුම් සංවර්ධන පදනමක්වන mSpace භාවිතා කරමින්, සත්‍ය ලෝකය තුළ පවතින ගැටලු විසඳීම සඳහා දුරකථන සන්නිවේදන තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කළ යුතු ය. ව්‍යවසායකත්වය දිරිගන්වන අතරම තම නිර්මාණශීලී අදහස් ප්‍රායෝගික ව්‍යාපාරික විසඳුම් බවට පරිවර්තනය කිරීමට තරගකරුවන් දිරිගැන්වීම මෙහි මූලික ඉලක්කයකි.  එමෙන්ම මෙරට යෙදුම් නිර්මාණකරුවන් දිරිගන්වමින්, ඔවුන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීම සඳහා මෙමගින් වැදගත් කාර්යභාරයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    SLT-MOBITEL mSpace සැලසුම්කර ඇත්තේ යෙදුම් නිර්මාණකරුවන්ට මෙන්ම යෙදුම් නිර්මාණකරුවන් නොවන පුද්ගලයන්ටද දුරකථන සන්නිවේදන තාක්ෂණය මූලික කරගත් විසඳුම් නිර්මාණය කරමින් ඒවා වාණිජමය මට්ටමක් දක්වා දියුණු කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණිනි. Coding පසුබිමක් නොමැති පුද්ගලයන්ට ද mSpace භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් යෙදුම් නිර්මාණය කළ හැකි වේ.

    SLT-MOBITEL mSpace 'Code Blast' National Hackathon තරගයට සහභාගීවන අයදුම්කරුවන් අවුරුදු 19 හෝ ඊට වැඩි විය යුතු අතර, කණ්ඩායමකට ඇතුළත් විය හැකි උපරිම සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව පහකි. මෙහිදී තරගකරුවන් ඉදිරිපත්කරන  විසඳුම් සඳහා mSpace API භාවිතා කිරීම අනිවාර්ය වේ. අවශ්යතා අනුව තම නිර්මාණ සඳහා Generative AI භාවිතා කළ හැකි අතර, එලෙස භාවිතාකරන කණ්ඩායම්වලට ප්රසාද ලකුණු හිමි වනු ඇත. තරගය අවසන් වීමෙන් අනතුරුව, mSpace හරහා තම විසඳුම් වාණිජකරණය කරගැනීමට නිර්මාණකරුවන්ට සහය වීමටත්, අධි-තරගකාරී වෙළඳපොළක් තුළ සාර්ථකවීම සඳහා ඔවුන්ට නව මාවතක් විවරකර දීමටත් SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.