වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් කොළ එළියක්

    May, 29, 2024

    වාහන ආනයනය සඳහා අවසර ලබා දීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, දැනට පවතින වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කිරීමේ හැකියාව මහ බැංකුව සතුව පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රජය මේ වන විට වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කර ඇති බවත්, එහිදී සංචාරක ව්‍යාපාරය, වානිජ කටයුතු වැනි අවශ්‍යතාවයන් වෙනුවෙන් වාහන ආනයනය සඳහා ඉඩ ලබා දී ඇති බවත්ය.

    “වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත්. එලෙස යම්කිසි ආකාරයක ලිහිල් කිරීමක් තුළ, ඊට අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.