වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අනුග්‍රහයෙන් හින්දු හා රාමනාදන් විදුහල්වලට පානීය ජල ව්‍යාපෘති

    April, 12, 2023

    ස්වර්ණාභරණ ලොව කිරුළ පැළඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පසුගිය කාලය පුරා ක්‍රියාවට නැංවූ ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩසටහන් පෙළ ඉදිරියට රැගෙන යමින් එහි 15 වැනි සහ 16 වැනි පානීය ජල ව්‍යාපෘති දෙක බම්බලපිටිය හින්දු විද්‍යාලයට සහ රාමනාදන් කාන්තා විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී. ඒ අනුව මෙම විද්‍යාල දෙකේ සිසු සිසුවියන්ට සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ජාතියේ ජීවනාලිය බඳු ළමා පරපුරේ නිරෝගී බව තහවුරු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි නිරන්තරයෙන් විශ්වාස කරයි.

    “මෙම පාසල් දෙකට නළ ජලය තිබුණත් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ විශාල අවශ්‍යතාවක් තිබූ නිසා වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අනුග්‍රහයෙන් පාසල් දෙකේ දරු දැරියන්ට මෙම පානීය ජල ව්‍යාපෘති දෙක තිළිණ කළා. පසුගිය කාලයේදී අපි පාසල්, රෝහල් ආදී පොදු ස්ථාන රැසක මෙවැනි පිරිසිදු පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා පොදු ජනතාවට නොමිලේ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා.” වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී ඒ. පී. ජෙයරාජා මහතා පැවැසීය. මෙම පානීය ජල ව්‍යාපෘති වැඩසටහන් පෙළ ඉදිරියට රැගෙන යමින් එහි 17 වැනි වැඩසටහන ලෙස හැටන් ප්‍රදේශයේ නල්ලතන්නිය මහා විද්‍යාලයේ නළ ළිඳක් ඉදි කිරීමට නියමිතව ඇත. වසරක් පාසා වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් මෙවැනි සමාජ සේවා කටයුතු රැසක් සංවිධානය කරනු ලබන අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්, ලේ දන් දීමේ වැඩසටහන් ආදිය ඊට ඇතුළත් වේ.