November, 1, 2023
විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට (HDFC) වූ පාඩුවක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) අවධානය යොමුව තිබේ.
2014 නොවැම්බර් 04 දින පැවති කෝප් සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතය ඉක්මවා සිදු වූ මෙම ගෙවීම මගින් බැංකුවට සිදු වී තිබූ පාඩුව රුපියල් මිලියන 69ක් බව එහිදී අනාවරණය වී ඇත.
මෙහිදී තැරැව්කාර සමාගමක් තුන්වෙනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම තැරැව්කරු බැංකුව පාර්ශ්වයෙන් පැමිණි පුද්ගලයෙක් බව මෙහිදී අනාවරණය විය.
එසේම මේ සම්බන්ධයෙන් මැදිහත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත්කර තිබීම පිළිබඳ මෙහිදී කමිටුව පෙන්වා දීම සිදු විය.
මේ අනුව මුදල් අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් සිදු කොට මේ සඳහා මැදිහත් වූ තැරැව්කරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) කැඳවා තිබුණු අතර එහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවිය. මෙම බැංකුව 2014 නොවැම්බර් මස අවසන් වරට කෝප් කමිටුවට කැඳවා තිබුණි.
මේ අතර බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය යොමු වීමද මෙහිදී සිදු විය. විශේෂයෙන්ම 2018 ජූලි 18 දින මෙම සමාගම වෙත රුපියල් මිලියන 350 ක මුදලක් ලබාදී ඇතත් මෙම සමාගමේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලුවක් පවතින බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම ණය ලබාදීමේදී සම්බන්ධවූ ඇපකරුවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.
එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කොට සති තුනක් ඇතුළත කෝප් කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙසද මෙහිදී කිමිටුව නිර්දේශ කළේය. තවද මෙම කරුණ පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කෝප් කමිටුව මෙහිදී සඳහන් කළේය. එසේම මෙම ගැටලුව අල්ලස් හා දූෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටුව මෙහිදී සඳහන් කළේය.
Video Story