විදෙස් ආයෝජන මෙරටට ආකර්ෂණය කරගැනීමට අදාළව මෙරට විදේශ සේවය විසින් අනුගමනය කළයුතු උපායමාර්ගික පියවර පිළිබඳ වාර්තාවක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම කාරක සභාවේ අදාළ විශේෂඥයන්ට පසුගියදා දැනුම්දෙන ලදී.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකරන ලදී.
විදෙස් රටවල ආයෝජකයන්, දේශපාලන අධිකාරිය මෙන්ම අදාළ අනෙකුත් පාර්ශ්ව සමඟ මනා සබඳතාවක් පවත්වා ගනිමින් එකී රටවල ආයෝජන හා ව්යාපාරික අවස්ථා මෙරටට ආකර්ෂණය කරගනිමින් පවත්වාගෙන යාම සදහා මෙරට විදේශ සේවය සතුව විශාල වගකීමක් පවතින බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ අනුව අදාළ වාර්තාවේ කරුණු සළකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද සභාපතිවරයා පැවසීය.