විදෙස් සංචිතය ශක්තිමත් කිරීමට චීන – ඉන්දියා සහාය

    January, 4, 2021

    මෙරට විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් චීනය සහ ඉන්දියාව සමඟ නුදුරේදීම විනිමය හුවමාරු (currency swap) පහසුකම් වැඩසටහන් සඳහා යොමු වීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    මේ අනුව චීන මහ බැංකුව (People’s Bank of China) සහ ඉන්දීය සංචිත බැංකුව (Reserve Bank of India) වෙතින් මෙම විනිමය හුවමාරු පහසුකම් ලබා ගැනීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

    මෙහිදී වසර තුනක කාලයකින් ගෙවිය යුතු පරිදි චීන මහ බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක් සහ වසරක කාලයක් වෙනුවෙන් ඉන්දීය සංචිත බැංකුවෙන් ඩොලර් බිලියන 1 ලබා ගැනෙනු ඇත.

    ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක්  සුරක්ෂිත කර ගනිමින්,  ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීම මෙම මුදල් හුවමාරු පහසුකම් හි අරමුණු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2020 නොවැම්බර් 30 දින වන විට මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 5,555.3 ක් වේ. මෙයින් ඩොලර් මිලියන 5,101.1 ක් විදේශ විනිමය සංචිතය වන අතර ඉතිරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙන් කළ ඩොලර් මිලියන 68.4 ක්, ව්‍යවස්ථාපිත සංචිතය ඩොලර් මිලියන 2.6 ක්, රන් සංචිතය ඩොලර් මිලියන 382.7 ක් හා වෙනත් සංචිත වත්කම් ඩොලර් මිලියන 0.4 ක් වශයෙන් වේ.