විදේශ ආධාර යටතේ මෙරට ක්රියාත්මක වන ඉදිකිරීම් ව්යාපෘති සඳහා ලංකාවේ ඉංජිනේරුවන්ටද යම් ප්රතිශතයකින් දායක විය හැකි පරිදි අවස්ථාව සලසාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනවක් ඉදිරිපත් කළේය.
ඒ ශ්රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව 2020 වාර්ෂික වාර්තාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ 2020 වාර්ෂික වාර්තාව, වාරිමාර්ග අමාත්යාංශයේ 2022 කාර්ය සාධන වාර්තාව, ශ්රී ලංකා මහවැලි අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාව සළකා බැලීම සඳහා ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 22 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මෙරට ක්රියාත්මක වන මහා පරිමාණ ව්යපෘති නිර්මාණකරණයේදී සහ ක්රියාවට නැංවීමේදී අවශ්ය උපදේශන සේවා ලබාදීමට ශ්රී ලංකාව සතුව මානව සම්පත පැවතියද විදේශ රටවලින් අදාළ සම්පත් ගැනීම ඵල රහිත ක්රියාවක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව යම් ප්රතිශතයකින් හෝ මෙරට ඉංජිනේරුවන්ට අදාළ ව්යාපෘති වලට දායක විය හැකි පරිදි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ සියලු දත්ත හා තොරතුරු කමිටුවට වෙත ලබාදෙන ලෙස සභාපති වරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මෙරටින් බිහිවන ඇති දක්ෂ ඉංජිනේරුවන් මේ වන රට හැර දමා යාම ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධන වෙමින් පවතින බව කාරක සභාව ඉදිරියේ අදහස් දක්වමින් නිලධාරීහු ප්රකාශ කළහ. ඒ අනුව අදාළ ඉංජිනේරුවන් රට හැර දමා යාමට හේතු කරණා සහ එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කළයුතු දේ පිළිබඳවද වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ ආයතනික ව්යුහය හා බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් ද, රජයේ ව්යාපෘති සිදුකර රජයෙන් අයවිය යුතු රුපියල් බිලියන 6ක හිඟ මුදල නිසා ආයතන පවත්වාගෙන යාමේදී පැන නැගී ඇති මූල්ය ගැටලුව ගැනද කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ අනුව මහා භාණ්ඩාගාරය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන කාරක සභාව හමුවට කැඳවා අදාළ ගැටලුව නිරාකරණය කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
මෙහිදී වාරිමාර්ග අමාත්යාංශයේ නිලධාරීන් හමුවේ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ නිසි කලට ජලය මුදාහරිමින් කන්න ආරම්භ කිරීම ප්රමාද නොවීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙසයි. නිසි කළමනාකරණයකින් ජලය භාවිතා කිරීම මෙන්ම අඩු ජල ප්රමාණයකින් වගා කළහැකි වගාවන් ගැන අධ්යයනය කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
විදේශ ආධාර යටතේ ක්රියාත්මක වාරි පද්ධති පිළිසකර කිරීමේ ව්යාපෘතිවල ප්රගතිය ගැනද කමිටුවේදී සාකච්ජා විය. මේ වන විටත් සමහර ප්රදේශවල මෙම අධාර මගින් හඳුනාගත් වාරි පද්ධති පිළිසකර කිරීමට මුදල් වෙන් කිරීමක් සිදු නොකර ඇති බවත් කාලය ඉක්මවා යාමට මත්තෙන් අදාල මුල්ය ප්රතිපාදන නිසි පරිදි භාවිතා කර අදාළ ප්රතිසංස්කරණ සිදු කරන ලෙසටද සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙතෙක් විදේශ ආධාර යටතේ ක්රියාත්මක වාරි පද්ධති පිළිසකර කිරීමේ ව්යාපෘතිවල ප්රගතිය සම්දන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසටද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.