විශිෂ්ට ආයතනික පුරවැසි තිරසාරතා සම්මාන 2020 උළෙලේදී CDB හොඳම සමාගම් දහය අතරට තේරී පත්වෙයි

    April, 2, 2021

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම සමාගමක් වන අතර, පසුගියදා පැවැති විශිෂ්ට ආයතනික පුරවැසි තිරසාරතා සම්මාන 2020 (Best Corporate Citizen Sustainability Awards 2020) උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් දහය අතරට තේරීපත් විය. CDB මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ සිව් වැනි වරට වන අතර, 2018 – 2020 වර්ෂයන්හිදී පිළිවෙලින් තුන් වරක්ම මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය. දිගු කාලයක් පුරාවට ආයතනික සාරධර්මයන් සුරකිමින් තිරසාර ව්‍යාපාර භාවිතාවක් සඳහා කැපවීමෙන් දායකත්වය ලබාදීම මෙම ජයග්‍රහණයෙහි පදනම වී තිබේ. CDB සමාගම සිය ව්‍යාපාර කාර්යසාධනය තුළ තිරසාර ව්‍යාපාර භාවිතාවන් සඳහා විශේෂ ස්ථානයක් ලබා දෙමින් කටයුතු කරයි.

    මෙරට ප්‍රමුඛතම ව්‍යාපාර මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය විසින් විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙල සංවිධානය කරන අතර, සම්මාන නිර්දේශය සඳහා සලකා බැලෙන මුල්‍ය වර්ෂය තුල දේශීය ව්‍යාපාරික සමාගම් විසින් ව්‍යාපාර තිරසාරතාවය වෙනුවෙන් ලබා දෙන විශිෂ්ට දායකත්වයන් එහිදී සලකා බැලේ. විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලෙහි සම්මානලාභීන් තෝරා ගැනීමේදී එම ව්‍යාපාරික සමාගම්වල ක්‍රියාකාරකම් මගින් පරිසරයට, සමාජයට, ආර්ථිකයට හා අනුකූලතා සාධකයන් වෙත සිදුවන බලපෑම එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීන විනිසුරු මඩුල්ලක් විසින් අදියර කිහිපයකදී ඇගයීමට ලක්කරයි.

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මුල්‍ය සමාගම් පහ අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටින අතර, ප්‍රසිද්ධ ලැයිස්තුගත ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති සිය ශාඛා ජාලය ඔස්සේ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින්  ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා ක්ෂේත්‍ර‍යෙහි දැවැන්ත වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත.

    වමේ සිට දකුණට සිටගෙන:  ආචාර්ය. ආනන්ද මල්ලවතන්ත්‍රී - සභාපති - විශිෂ්ට ආයතනික පුරවැසි තිරසාරතා සම්මාන ඇගයීම් කමිටුව, දමිත් තෙන්නකෝන් - විධායක අධ්‍යක්ෂ/ සහකාර ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මුල්‍ය නිලධාරී - CDB, අරෝෂි රණතුංග - ප්‍රධානී තිරසාරතා/ මානව සම්පත් කළමනාකරණ සහ ප්‍රවර්ධන, ආචාර්ය. හාන්ස් විජේසූරිය - සභාපති - ලංකා වාණිජ මණ්ඩලය, හසිත දසානායක - සාමාන්‍යාධිකාරී - නව්‍යකරණ හා බුද්ධිමය ව්‍යාපාර - CDB හා ඔවිනි ඩයස් - ජ්‍යෙෂ්ඨ විධායක - තිරසාරතා-  CDB