විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් මීගමුව ශාඛාවේ අති නවීන ශ්‍රවණ සත්කාර අංශයක් විවෘත කරයි

    September, 20, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින් මීගමුව ශාඛාවේ නව ශ්‍රව්‍ය සේවා අංශයක් විවෘත කරන ලදී. විෂන් කෙයා මීගමුව ශාඛාවේ ශ්‍රවණ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ශාඛාවේ 8 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම දියත් කිරීම සිදු කරන ලදී.

    අංක 8, හලාවත කොළඹ පාර, මීගමුව යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම විෂන් කෙයා ශාඛාව වෙතින් දැන් දෘශ්‍ය, ශ්‍රවණ සහ දන්ත ප්‍රතිකාර සේවාවන් එකම වහලක් යට ලබා ගත හැක. නව ශ්‍රවණ සත්කාර අංශය විවෘත කිරීමේ උත්සවයට මීගමුව මූලික රෝහලේ ENT විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රේමලාල් ද මෙල් මහතා, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.

    විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් හි සුදුසුකම් ලත් පළපුරුදු ශ්‍රවණ විශේෂවේදීන් විසින් නවීන තාක්ෂණය භාවිතා කරමින් පාරිභෝගිකයින්ට ගුණාත්මක, පුළුල් ශ්‍රවණ පරීක්ෂණ සේවා සැපයීමට අරමුණු කරයි. මූලික ශ්‍රවණ පරීක්ෂණ වලට අමතරව, Auditory Brainstem Responses, Auditory Steady State Responses සහ Otoacoustic Emission Testing වැනි පරීක්ෂණ සේවාවන් ද මෙම නව ශ්‍රවණ අංශය වෙතින් ලබාගත හැකිවේ. විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් ඔටිකොන් සහ පිලිප්ස් ශ්‍රවණ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතයා වන අතර, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි විවිධ වර්ගයේ ශ්‍රවණාධාර ලබා ගැනීමේ හැකියාව පවතී.

    එමෙන්ම විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ගේ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කරමින් සමස්ත ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් කථන සහ භාෂා පුහුණු චිකිත්සා ප්‍රතිකාර ද සපයයි.

    විෂන් කෙයා මීගමුව ශාඛාවේ නව ශ්‍රවණ සත්කාර අංශය පිහිටුවීමත් සමඟ මීගමුව සහ ඒ අවට ප්‍රදේශ වාසීන්ට උසස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉහළම ප්‍රමිතියෙන් යුත් ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් බලාපොරොත්තු වේ.