වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන

    March, 23, 2026

    එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ වෙළෙඳපොළෙහි පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් 2026 මාර්තු 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

    විශේෂයෙන්ම, වත්මන් මැදපෙරදිග අර්බුදය ඇතුළු ගෝලීය දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ඉන්ධන සැඟවීම මගින් කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ මවාපෑමටත්, භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමටත් පෙළඹීමේ තත්ත්වයන් වැලැක්වීමද මේ මගින් බලාපොරොත්තු වේ. එමෙන්ම උත්සව සමයේ ඇති විය හැකි වෙළෙඳපොළ අක්‍රමිකතාවයන් වැලැක්වීම සඳහා ද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී ද අඛණ්ඩව රාජකාරියේ යෙදවීමට කටයුතු කරනු ලැබේ.

    මෙම විශේෂ වැඩපිළිවෙල යටතේ ගබඩා සහ තොග අලෙවිසැල් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම හා භාණ්ඩ සඟවා තබන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහි දැඩි අවධානය යොමු කරනු ඇත. ඊට අමතරව උපරිම සිල්ලර මිල ඉක්මවා හෝ භාණ්ඩවල සටහන් කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය සහ බිල්පත් නිකුත් නොකිරීම ඇතුළු වෙළ විෂමාචාර සමබන්ධව වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කරනු ඇත. එමෙන්ම ගෑස් බෙදාහරින්නන් සහ ඉන්ධන පිරවුම්හල් නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ සැපයුමක් ලබා දීමට ද මැදිහත් වනු ඇත.

    ඒ අනුව, එළඹෙන උත්සව සමය තුළ අදාළ නීති උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සියලුම විමර්ශන නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පාරිභෝගිකයින්ට සිදුවන යම් අසාධාරණයක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවයක් පිළිබඳව කාර්යාලීය වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ මෙම අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

    පවතින තත්ත්වයන් අවබෝධ කරගනිමින් වෙළෙඳපොළ තුළ අසාධාරණ ව්‍යාපාරික කටයුතුවලින් වැළකී, පාරිභෝගික අයිතීන් සුරකිමින් විධිමත් නීතිගරුක වෙළෙඳාමක නිරත වන ලෙස සියලුම වෙළෙඳ ප්‍රජාවගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.