වෙළෙඳ  ප්‍රචාරණ ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීම වෙනුවෙන් 3R උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා 4A සංවිධානයට නව නිලධාරී මණ්ඩලයක්

    May, 15, 2023

    Accredited Advertising Agencies Association (4As) සංගමයට අයත් ශ්‍රී ලංකා සංසදයේ  වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) 2023/2024 වර්ෂය සඳහා  නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පසුගිය දා සිදු කෙරිණි. එම සංවිධානයේ නව නායකත්වය මගින් ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ  4As සංවිධානය පුනර්ජීවනය කිරීම අපේක්ෂිතය.

    විවිධ වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර ඔස්සේ කීර්තියට හා පැසසුමට ලක් වී සිටින, එමෙන් ම දිනෙන් දින වෙනස් වන මෙම ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් සහ අත්දැකීම් සහිත 4As වෘත්තිකයින් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දිනෙන් දින විකාශනය වන වෙළෙඳ  ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ සිදු වන නව්‍යකරණයන්ට සාර්ථකව අනුවර්තනය වෙමින් කටයුතු කරයි. අභිනවයෙන් පත් වූ නව 4As නිලධාරී මණ්ඩලය වන්නේ සභාපති ඇලන් ලෝපෙස්, උප සභාපති ඇල්වින් ගෝමස්, උප සභාපති සෙලෝනිකා පෙරුමාල්, ප්‍රධාන ලේකම් නතාෂා මාර්ටින් හා භාණ්ඩාගාරික සුබෝධා පිළිමතලව්වේ යන නිලධාරීන් සහ  ක්‍රිෂාන්ත ජයසිංහ, දිල්ෂාර ජයමාන්න, වරුණි ජයසේකර, වසම් ස්මයිල් සහ අහමඩ් ටී. හසන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් අධ්‍යක්ෂ මණ්ඩලයයි. වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩිදියුණු කරමින් එම ක්ෂේත්‍රය බලගැන්වීම  සඳහා කැපවන 4As නව නිලධාරී මණ්ඩලය ශ්‍රී ලංකාවේ වෙළෙඳ  ප්‍රචාරණ සහෝදරත්වයට නායකත්වය ලබා දෙමින් බල ගැන්වීමට සූදානමින් සිටී.

    සංගමයේ ශක්තිය සහ කීර්තිය වර්ධනය කිරීමේ අරමුණින් 4As මණ්ඩලය මෑතක දී සිය නව 3R උපාය මාර්ගය (සම්පත්, ආදායම සහ කීර්තිය පිළිබඳ) ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.  මෙම උපාය මාර්ගය හරහා මණ්ඩලය සිය සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීමටත්, ක්ෂේත්‍රය තුළ වැඩි ආදායමක් උත්පාදනය කර ගැනීමටත්, අනෙකුත් ආයතන සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින් සිය කීර්තිය ඉහළ නැංවීමටත් කටයුතු කරයි.

    කුසලතා රැක ගැනීම, පෝෂණය කිරීම, ආකර්ෂණය කර ගැනීම සහ එම කුසලතා සඳහා ප්‍රතිලාභ ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්,  විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන  4As මණ්ඩලය එම වැඩසටහන් හරහා සිය සාමාජික සාමාජිකාවන්ගේ  වෘත්තීය සංවර්ධනයට, නිර්මාණශීලීත්වය  ඉහළ නැංවීමට මෙන් ම වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ වීමට තරුණ දක්ෂයින් දිරිමත් කිරීමට ද කටයුතු කරයි.

    පසුගිය වසර කිහිපය තුළ, මෙරට වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය COVID වසංගතය,  ආර්ථික අර්බුදය සහ වැඩි වන රජයේ බදු වැනි අභියෝග නිසා දැඩි පීඩාවට පත් විය.  එම තත්ත්වයන් මඟහරවා ගනිමින් සිය වැඩසටහන් හරහා සාමාජික ආයතනවල ආදායම වැඩිදියුණු කිරීමට උපකාරී වන නිවැරදි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම 4As මණ්ඩලයේ අරමුණයි.

    ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ කීර්තිය ඉතා වැදගත් මෙන් ම තීරණාත්මක සාධකයක් වන නිසා ම අනෙකුත් ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීම ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමට, පිළිගැනීමට ලක් වීමට සහ කීර්තිය දිනා ගැනීමට උපකාරී වන බව 4As මණ්ඩලය හඳුනා ගෙන ඇත. එහි 3R උපාය මාර්ගය මගින් මෙරට වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය පුනර්ජීවනය කර, ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය  සංගමයක් ලෙස 4As මණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපේක්ෂා කරයි.

    4As යනු දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ සදාචාරාත්මක වෙළෙඳ ප්‍රචාරණ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම තුළින් වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කීර්තිය ඉහළ නැංවීමේ මෙහෙවර පෙර දැරිව  ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන සහ ප්‍රචාරණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැප වී සිටින ලාභ නොලබන සංවිධානයකි.  වර්තමාන වේගවත් ව්‍යාපාරික ලෝකයේ වෙළෙඳ  ප්‍රචාරණයට, මහජනතාව වෙත අදාළ සංකල්ප ගෙන යාමට මෙන් ම අනෙකුත් අලෙවිකරණ සන්නිවේදන මෙවලම්වල වැදගත් කම සහ විෂය පථය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට නායකත්වය ලබා දීම මෙම සංවිධානයේ අරමුණයි.  ඒ හරහා සිය  සාමාජිකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා  ඔවුන් වෙනුවෙන් හඬ නඟමින් වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය විශිෂ්ටත්වය කරා ගෙන යාමට 4As නිබඳව ම කැප වෙයි.