December, 11, 2023
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා පැවැත්වූ ගෝලීය විකුණුම් සම්මන්ත්‍රණයට ජාත්‍යන්තර සංචාරක සේවා කර්මාන්තයේ නියෝජිතයන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. 2023 නොවැම්බර් 24 වන දින හම්බන්තොටදී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයට ශ්‍රීලංකන් ගුවන් සේවය සමග සම්බන්ධ වී සිටින ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර නියෝජිතයන් සහ සංචාර සංවිධායකවරුන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙම ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කරන ලද අතර, ඔවුන්ට මෙරට සංස්කෘතිය, ඉතිහාසය, ස්වභාව සෞන්දර්ය සහ වනජීවීන් ඇතුළුව, ශ්‍රී ලංකාව සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්කරන සාධක රාශියක් සියැසින් දැකගැනීමටද අවස්ථාව උදා විය.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෘජු සම්බන්ධතා ජාලයට අයත්, ඉන්දියානු අර්ධද්වීපය, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග, යුරෝපය, මැද පෙරදිග සහ ඔස්ට්‍රේලියාව යන රටවල් නියෝජනය කරන විකුණුම් නියෝජිතයන්, සංචාරක සේවා නියෝජිතයන්, සංචාර සංවිධානය කරන්නන් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සංචාරක සේවා අංශය වන ශ්‍රීලංකන් හොලිඩේස් හි බලය හිමි නියෝජිතායතනවල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් කණ්ඩායමේ සාමාජිකයන් සමග එක් වී, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන රැසක සංචාරයේ යෙදීමටද මෙම නියෝජිතයන්ට අවස්ථාව උදා විය.
මෙම සංචාරවලින් අනතුරුව පැවති තෙදින සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ විචිත්‍ර සංස්කෘතිය සහ සම්ප්‍රදායන් මැනැවින් නිරූපණය කළ වැඩසටහනක් විය. ඊට සහභාගී වූවන් වෙනුවෙන්, සාම්ප්‍රදායික නර්තනාංග හා සංස්කෘතික විශේෂාංග ඇතුළත් පෙරහැරක්ද පැවැත්විණි. සම්මන්ත්‍රණයේ ප්‍රධාන වැඩසටහන හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සතු සැලසුම් පුළුල් මට්ටමින් සාකච්ඡාවට හා සංවාදයට බඳුන් විය.
Trip.com හි ඕෂනියා, අග්නිදිග ආසියා - ISC සහ මැද පෙරදිග අධ්යක්ෂ කර්ක් වොන්ග් (Kirk Wong), Jetwing Symphony PLC සභාපති හිරාන් කුරේ, Google හි හවුල්කාර කාර්ය සාධන, නාලිකා විකුණුම් - SEA සංචාරක ප්රවණතා සහ වෙළඳපළ ප්‍රතිසාධන ප්‍රධානී ටාරා යූන් (Tara Yoon) , සහ Barmy Army කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස් මිලාර්ඩ් (Chris Millard) යන මහත්ම මහත්මීහු මෙහිදී දේශන පැවැත්වූහ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සංචාරක සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිලීප් මුදාදෙණිය යන මහත්වරු මෙහි සංවාදමය වැඩසටහනට එක්වූහ.
“ලොව පුරා විසිරී සිටින සංචාරක නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණ, රටේ ආකර්ෂණීය දේවල් දැකබලාගැනීමට අවස්ථාව ලබාදීමට අපට අවශ්‍ය වුණා. ඉන් අනතුරුව ඔවුන් තමන්ගේ රටවලට ගොස්, ශ්‍රී ලංකාව යනු සුවිශේෂී සහ සුරක්ෂිත ගමනාන්තයක් බව ඒ රටවල ජනතාවට කියාදේවි. මෙය ඔවුන්ට ශ්‍රී ලංකාව සමග ළෙන්ගතු සම්බන්ධතාවක් ඇතිකර ගැනීමටත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාණිජමය වශයෙන් ප්‍රවර්ධනය කළ හැකි දේවල් මොනවාද යන්න පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් උපකාරී වනු ඇතැයි කියා මා සිතනවා.” සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කථාව සහ ප්‍රධාන දේශනය සිදුකරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් මහතා පැවසී ය.
“පසුගිය වසරේදී පැවැත්වූ සම්මන්ත්‍රණය අපගේ ඉලක්ක පසුකර යාමට අපට උපකාරී වුණා. මෙම වසරේදීත් අපට එවැනිම සාර්ථකත්වයක් දැකගැනීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ. සම්මන්ත්‍රණයේදී අප ඉදිරිපත් කළ සැලසුම්වලට තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බව අපගේ නියෝජිතයන් අප සමග පැවසුවා. මෙය අපගේ ඉලක්ක ජයගැනීමටත්, පෙරටත් වඩා විශිෂ්ට ප්‍රතිඵල මේ වසර තුළදී අත්කර ගැනීමටත් මහෝපකාරී වනු ඇති බවට සැකයක් නැහැ.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය. සම්මන්ත්‍රණයේදී ශ්‍රීලංකන් ගුවන් සේවය තම ආවරණ පරාසය පුළුල් කිරීමට සහ ගුවන් යානා සංඛ්‍යාව වැඩිකර ගැනීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳ සැලසුම් සහ, ඉදිරියේදී දියත් කිරීමට නියමිත ‘SriLankan Direct Connect,’ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලද්දේ දිමුතු තෙන්නකෝන් මහතා විසිනි. ‘SriLankan Direct Connect,’ යනු IATA හි New Distribution Capability (NDC) විසඳුම් පදනම් කරගත් Booking පදනමකි.
“ශ්‍රීලංකන් ගුවන් සේවය කවදත් සංචාරක කර්මාන්තයේ ප්රමුඛයෙකු ලෙස ඉදිරියෙන්ම සිටියා. ලොව රටවල් රැසක සිට සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. ලොව නවතම සංචාරක ප්රවණතාවන්ට අනුගත වන අතරම, ශ්‍රී ලංකාවේ සැඟවුණු ආකර්ෂණයන් ලොවට පෙන්වීමට අප සෑම පිටම කටයුතු කළා. අප ප්‍රවර්ධන වැඩසටහන් සියල්ල සැලසුම් කරන්නේ ශ්‍රී ලංකාවේ විවිධත්වයට හා අපූර්වත්වයට පදනම් වන සියලු සාධක හොඳින් ග්‍රහණය කරගනිමිනුයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවිකරණ හා තිරසාර වැඩසටහන් විස්තර කරමින් එහි අලෙවිකරණ ප්‍රධානී සමින්ද පෙරේරා මහතා පැවසී ය.
මෙම සම්මන්ත්‍රණයේ තවත් විශේෂ අංගයක් වූයේ, ගුවන් යානා තුළ අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර විස්තර කරන නවතම වීඩියෝවක් එළිදැක්වීම ය. මෙම නව වීඩියෝව, මේ දක්වා දශකයකට අධික කාලයක් පුරා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා තුළ භාවිතා වූ වීඩියෝව වෙනුවට මින් ඉදිරියට භාවිතා වනු ඇත. මෙම නව වීඩියෝව තුළදී ශ්‍රී ලංකාවේ සෞන්දර්යය දැක්වෙන පසුතලයන් තුළ, අදාළ ආරක්ෂක විධිවිධාන විස්තර කෙරේ.
සම්මන්ත්‍රණයට සහභාගී වූ සියලුම දෙනාට එය අතිශය තෘප්තිමත් අත්දැකීමක් වූ අතර, ඒ පිළිබඳව ඔවුහු අතිශයින් ප්රශංසනාත්මක ලෙස අදහස් දැක්වූහ.
“මෙය අපට ඉතාම සුවිශේෂී අත්දැකීමක් වුණා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරීන් හමු වී, එම ගුවන් සේවයේ අනාගත සැලසුම් සහ පුළුල්කරණ වැඩසටහන් පිළිබඳව තොරතුරු දැනගැනීමට මට අවස්ථාව ලැබුණා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉලක්ක සහ අප සමාගමේ ඉලක්ක සමගාමී වනවා. ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඉන්දියාව තුළ මෙන්ම, ඉදිරියේදී එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව තුළ පවතින අපගේ කාර්යාල හරහා ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම අපගේ බලාපොරොත්තුවයි.” ඉන්දියාවේ දිල්ලි නගරයේ Belair - The Global Travel Company හි අමිත් පර්දාසානි (Amit Pardasani) මහතා පැවසී ය.
“පැරීසියේ සිට පැමිණි ගුවන් ගමන මෙන්ම ශ්‍රී ලංකාවේ ගතකළ කාලය මට ඉතාම ප්‍රසන්න අත්දැකීමක් වුණා. ශ්‍රී ලංකාව යනු සුවිශේෂී රටක්. අපට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳව මා ශ්‍රීලංකන් ගුවන් සේවයේ විකුණුම් කණ්ඩායමට ස්තූතිවන්ත වනවා. ශ්‍රී ලංකාව යනු ඔබේ මුහුණට සිනහවක් ගෙනෙන රටක්. ඒ නිසා ඔබ ශ්‍රී ලංකාවෙන් නික්ම යනවිට ඔබේ දෑසට කඳුළු නැගෙනවා.” ප්‍රංශයේ Karavel-Promovacances and FRAM හි ප්‍රවාහන ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බිගර්ඩ් (Alexandre Bigeard) පැවසී ය.
හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලය මෙම සම්මන්ත්‍රණයේ නිල ස්ථාන සහකරු වශයෙන් කටයුතු කළ අතර, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් සංගමය සහ ශ්‍රී ලංකා හොටල්කරුවන්ගේ සංගමය මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සිය නොමඳ සහයෝගය ලබාදුන්නේ ය.
ව්‍යාපාර අතර ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ (B2B) වැඩසටහනකින් සම්මන්ත්‍රණය අවසන් වූ අතර, මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා හෝටල්කරුවන්/ සංචාරක කළමනාකරණ සමාගම් නියෝජිතයන් සහ විදේශ නියෝජිතයන් අතර හමුවීම් 500 කට වැඩි ගණනක් සඳහා වේලාවන් යොදාගන්නා ලදි. මෙම සම්මන්ත්රණ මගින් ලැබෙන යහපත් ප්‍රතිඵල අනුව, ඉදිරියේදී මෙය වාර්ෂිකව පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි. ඉදිරියටත් විදේශ සංචාරක නියෝජිතයන් සහ සංචාර කළමනාකරුවන් සමග සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාව ලොව ජනප්‍රියම සහ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ වී තිබේ.
Video Story