ශ්‍රීලංකන් ගුවන් සේවය Barmy Army Fans World Cup 2023 සමග අත්වැල් බැඳගනී

    November, 20, 2023

    ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය යන රටවල ක්‍රීඩා ලෝලීන් තරග වදින Barmy Army Fans World Cup 2023 තරගාවලිය 2023 නොවැම්බර් 20 සහ 21 දෙදින තුළ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, මෙම තරගාවලිය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තෝරාගැනීම සඳහාද ගුවන් සේවය මූලික විය. මෙවැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වැඩසටහන් සංවිධානය කිරීම සහ ඒවා සඳහා අනුග්‍රහය දැක්වීම ඔස්සේ, ශ්‍රී ලංකාව ක්‍රීඩා සහ ත්‍රාසජනක ක්‍රීඩා සම්බන්ධ සංචාරක ගමනානන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ වී තිබේ.

    Barmy Army සමූහය නිර්මාණය වූයේ 1994/95 වර්ෂවලදී පැවති අළු බඳුන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ කළ සංචාරය අතරතුර ය. අඩු වියදම් සංචාරකයන් හෙවත් ‘Backpackers’ ලෙස හඳුන්වනු ලබන සංචාරකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක්, ඕස්ට්‍රේලියාවේ අවම ගාස්තු සහිත නවාතැන්වල හිඳිමින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට සහය දැක්වීම සඳහා ආරම්භ කරන ලද මෙම සමූහය මේ වනවිට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් සහිත දැවැන්ත ප්‍රේක්ෂක සමාජයක් බවට විකාශනය වී ඇත. මේ වනවිට සාමාජික සාමාජිකාවන් 40,000 කට අධික පිරිසක් මෙන්ම මිලියන 1.5 කට අධික සමාජ මාධ්‍ය රසික ප්‍රජාවක් සහිත Barmy Army සමූහය තවමත් සිය මූලික අරමුණ ලෙස සලකන්නේ සියලුම දෙනාට ක්‍රීඩාව තුළින් උපරිම වින්දනයක් ලැබීමට අවස්ථාව සලසා දීම ය. මෙවර පැවැත්වෙන Fans World Cup වැඩසටහන එම අරමුණෙහි තවත් ඉදිරි පියවරකි. මේ සඳහා Barmy Army සමූහයේ සහ එක්සත් රාජධානියේ සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළුව 100 කට අධික පිරිසක් සහභාගී වන අතර, ඔවුන් මෙම තරගාවලියේ එක්සත් රාජධානිය නියෝජනය කරන කණ්ඩායම් දෙකක් වශයෙන් තරග වැදීමට නියමිත ය.

    තරගාවලියේ එක් කණ්ඩායමකට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුළත් වන අතර, මුල් දිනයේදී ඔවුන් T10 තරග කිහිපයකට සහභාගී වනු ඇත. දෙවැනි දිනයේදී අවසන් වටයේ තරග පැවැත්වෙන අතර, තරගාවලිය Barmy Army නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

    තරගාවලියේ අත්දැකීම තවත් විචිත්‍රවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය තරගයක් ඇතුළු අමතර වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. මෙම සමාජ මාධ්‍ය තරගයෙන් ජයග්‍රහණය ලබන වාසනාවන්ත ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට ලන්ඩන් සහ කොළඹ අතර යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් හිමි වේ. Barmy Army සමූහයේ මූලික අරමුණ සපුරාලමින් මෙය කාටත් සතුට හා විනෝදය සපිරුණු තරගාවලියක් වනු නො-අනුමාන ය.

    UNESCO ලෝක උරුමයක් වන ගාල්ල නගරය, දීර්ඝ ඉතිහාසයක් සහ සුවිශේෂී උරුමයක් සහිත විචිත්‍රවත් නගරයකි. එමෙන්ම එය දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ පාරාදීසයක්ද වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සහ තරග නරඹන අතරවාරයේ එම ක්‍රිකට් ලෝලීන්ට ගාල්ල නගරයේ යටත් විජිත යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිලි, මංමාවත්, දේවස්ථාන සහ ප්‍රණීත ආහාරපාන සහිත ආපනශාලා මෙන්ම, 17 වැනි සියවසේ විස්මිත නිමැවුමක් වන ගාලු කොටුවද සිත් සේ දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

    මීට පෙරද ක්‍රීඩා හා ත්‍රාසජනක ක්‍රියා සම්බන්ධ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ. ඒ සඳහා එම ගුවන් සේවය වසර ගණනාවක පටන් සර්ෆින් ක්‍රීඩාව, පාපැදි ක්‍රීඩාව, කඳුකර පාපැදි ක්‍රීඩාව, ගොල්ෆ් සහ දිවීමේ තරග ඇතුළු තරග ඉසව් රැසකට තම දායකත්වය ලබා දී ඇත. මෙම සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ අපූර්වත්වය ලොවට පෙන්වමින්, සංචාරකයන් දහස් ගණනින් මෙරටට ආකර්ෂණය කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය.