ශ්‍රී ලංකාවේ අක්ෂි දෝෂ අවම කිරීමට එටිසලාට් ලංකා සහාය

    August, 18, 2016

    සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන් 2020 ලේකම් කාර්යාලය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද අන්ධභාවය, දෘශ්‍යබාධ, අක්ෂිරෝග සහ දුබලතා පිලිබඳ ජාතික සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අන්ධභාවයේ ව්‍යාප්තිය ජනගහනයෙන් 1.7% කි. මින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 40 ට වැඩි ජනගහනයෙන් 1.7% ක ප්‍රතිශතයක් අන්ධභාවයෙන් පීඩා විඳින බවයි. මේ සඳහා ප්‍රධානම හේතුව ඇසේ සුද මතුවීම වන අතර, වසර 5 ක කාලය තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකර ගැනීමට නොහැකිව සිටින පුද්ගලයන් ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවන බව විෂන් 2020 කාර්යාලය ප්‍රකාශ කරයි. වර්තන දෝෂ, ග්ලෝකෝමා සහ දියවැඩියාව නිසා ඇතිවන ආබාධ යනාදිය අන්ධභාවය සඳහා බලපාන අනෙකුත් හේතු ලෙස පෙන්වා දිය හැක. ඇසේ සුද මතුවීම යනු බොහෝ දුරට වියපත් වීමත් සමග ඇතිවන තත්ත්වයක් වුවද කලාතුරකින් දරුවන් මෙම තත්ත්වය සහිතව ඉපදීමට ඉඩ ඇති අතර ඇසට සිදුවන අනතුරු සහ වෙනත් අක්ෂි රෝග නිසාද ඇසේ සුද ඇතිවීමේ ඉඩකඩ පවතී.

    ශ්‍රී ලංකාව තුළ අක්ෂි දෝෂ අවම කිරීම සඳහා මැදිහත් වීමේ අරමුණින් ‘දෙනෙතකට සෙනෙහසක්‘ යන නමින් ප්‍රජා සත්කාර වැඩසටහනක් දියත් කිරීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කර තිබේ. So Others May see Inc. (SOMS) ආයතනය සමග එක්වී එම වැඩසටහන මෙරට අක්ෂි දෝෂ තුරන් කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කරයි. මෙම වැඩසටහන යටතේ මීට පෙර අවස්ථා කිහිපයකදී ‘ඇස් කන්නාඩි දන්සැල‘ වැඩසටහන් පැවැත්වීමට පියවර ගන්නා ලදි. ‘දෙනෙතකට සෙනෙහසක්‘ මගින් අක්ෂි රෝග සඳහා පරීක්ෂාවන් සිදුකර ගැනීමේ දුෂ්කරතා සහිත අය වෙනුවෙන් අක්ෂි පරීක්ෂාවන් නොමිලේ සිදුකරන ලද අතර ඇස් කන්නාඩි 8,800 කට අධික සංඛ්‍යාවක් නොමිලේ ලබාදී තිබේ.

    2016 වර්ෂයේ ‘දෙනෙතකට සෙනෙහසක්‘ වැඩසටහන දියත් කරන ලද්දේ අත්තනගල්ල සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාශවල සිසුන් ඉලක්ක කරගනිමිනි. එහිදී පාසල් 98 ක සිසුන් 78,612 දෙනෙකුගේ පමණ ඇස් පරීක්ෂාවට ලක්කරන ලදි. මෙහිදී සිසුන් 900 කට පමණ විශේෂයෙන් සැකසූ ඇස් කන්නාඩි ලබාදෙන ලද අතර තවත් සිසුන් 221 දෙනෙකු පමණ වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහල් වෙත යොමුකරවන ලදි.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් එටිසලාට් ලංකා සමාගමේ ප්‍රධාන වා‚ජ නිලධාරී යසර් අබුල් අමායම් මහතා පැවසුවේ මෙය තවතවත් පුළුල් කරමින් ඉදිරියේදී දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරන බවයි. “විවිධ දුෂ්කරතා නිසා විශේෂයෙන් තරුණ පරපුරේ බොහෝ දෙනෙකු නොයෙක් අක්ෂි දෝෂවලින් පීඩා විඳිනවා. මෙවැනි අයට සරණක් වෙමින් රටේ අන්ධභාවය හා අක්ෂි දෝෂ අවම කිරීම සඳහා SOMS ආයතනය සමග අත්වැල් බැඳගනීමට ලැබීම අපට විශාල සතුටක්.“ යැයිද ඒ මහතා පැවසී ය.

    මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විෙජ්වර්ධන මහතා පවසා සිටියේ අඩු අදායම්ලාභී පවුල්වලට දැනුම සහ ප්‍රතිකාර සේවා සපයමින් ඔවුන් අතර අක්ෂි දෝෂ අවම කිරීම සඳහා එටිසලාට් ලංකා වැනි සමාගමකට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවයි.

    රටේ ප්‍රධාන පෙළේ සමාගමක් ලෙස සමාජයේ යහපත උදෙසා අර්ථවත් වැඩසටහන් දියත් කිරීම එටිසලාට් ලංකා සමාගමේ අරමුණ වී ඇත. “072 ජාලය ශ්‍රී ලංකාව තුළ වසර 25 කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. මෙතරම් කාලයක් මේ ජාලය සමග එක්වී සිටි ජනතාවට මෙන්ම සමස්ත රටවාසීන්ටම මෙවැනි වැඩසටහන් ඔස්සේ සුභසිද්ධිය සැලසීම ඉතාමත් වැදගත් බව අපේ විශ්වාසයයි. මෙම ව්‍යාපෘතිය මගින් උපකාර අවශ්‍ය පුද්ගලයන් හඳුනාගෙන, ඒ අයට උපකාර කිරීමට අපට හැකිවනවා. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අප ලැබූ ප්‍රතිචාර සහ ප්‍රශංසා නිසා ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් තීරණය කර අවසන්.“ යැයි අබුල් අමායම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ මෙම වසරේදී දරුවන් හා වැඩිහිටියන් 12,000 කට අධික පිරිසකට නොමිලේ අක්ෂි සත්කාර ලබාදීමට අපේක්ෂා කරන බවයි. “සෑම කෙනෙකුටම අර්ථවත් හා ඵලදායී ජීවිතයක් ගෙවීමට අයිතිය ඇති බව අප විශ්වාස කරනවා. මේ විශ්වාසය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා එටිසලාට් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට සතුටක්.“ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    ජනතාවගේ දෘෂ්ටිය වර්ධනය කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙම ව්‍යාපෘතියේ දීර්ඝකාලීන අරමුණ වී තිබේ. ජාතික සෞඛ්‍ය සේවාවේ අංගයක් ලෙස පරිපූර්ණ හා තිරසාර අක්ෂි ප්‍රතිකාර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මගින් මෙම ඉලක්කය ළඟාකරගැනීමට හැකියාව ලැඛෙනු ඇත.

    මෙවැනි වැඩසටහන් මගින් රටේ අන්ධභාවය සහ වෙනත් දෘශ්‍යාබාධ නිසා පීඩා විඳින සංඛ්‍යාව අවම කිරීමට හැකියාව ඇති බව එටිසලාට් ලංකා සමාගම විශ්වාස කරයි. මේ වෙනුවෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටි අයටද වඩාත් ඵලදායී අක්ෂි පරීක්ෂණ සේවාවන් ලබාදීම, අක්ෂි සත්කාර ලබාදීම, ඇස් කන්නාඩි ලබාදීම සහ සැත්කම් වෙත යොමු කරවීම ආදිය සිදුකිරීමටද බලාපොරොත්තු වේ.

    “සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන් 2020 වැඩසටහන සමග අත්වැල් බැඳගනිමින් සිදුකළ මෙම වැඩසටහනට එටිසලාට් සමාගම විසින් ලබාදුන් දායකත්වය ඉතාමත් අගය කළ යුතුයි. මේ නිසා මීට පෙර දෑස් පෙනීමේ දුබලතාවන්ගෙන් පෙළුණු දරුවන් බොහෝ දෙනෙකුට නැවත යළි පෙනීම ලබාදෙන්නට අපට හැකියාව ලැබී තිඛෙනවා. ඒ වගේම දරුවන්ට ඇස් කන්නාඩි ලබාදීම යනු රටේ අනාගතය වෙනුවෙන් කරනු ලබන අමිල මෙහෙවරක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්.“ යැයි අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවසන් වශයෙන් පැවසී ය.