ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා තිරසර කෘෂිකර්මාන්ත ක්‍රම වෙත වහා  සංක්‍රමණය විය යුතු බව  FAO, IFAD, සහ WFP පවසයි

    October, 18, 2023

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ එක්ව ලෝක ආහාර දිනය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන, තිරසාර කෘෂිකර්ම ක්ෂේත්‍රයක් වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි.

    FAO සහ UN Water විසින් 2021 දී නිකුත් කරන ලද වාර්තාවක, ශ්‍රී ලංකාව 90.8% දර්ශකයක් සහිතව 'අධික ජල ආතතියට පත් ' ලෙස වර්ගීකරණය කර ඇත්තේ, එහි මිරිදිය සම්පත් සහ ඒවායේ තිරසාරභාවය මත මානව ක්‍රියාකාරකම්වල සැලකිය යුතු පීඩනය පිළිබිඹු කරමිනි. ශ්‍රී ලංකාවේ සමස්ත මිරිදිය භාවිතය වාර්ෂිකව ගණ මීටර බිලියන 12.95 පමණ ලෙස ඇස්තමේන්තු  ගතකර ඇත. මෙයින් 82% ක් පමණ වී වගාවේ වාරි කටයුතු සඳහා පමණක් භාවිතා කරන අතර 5% කට වඩා මදක් වැඩි ප්‍රමාණයක් අනෙකුත් භෝගවල වගා කටයුතු සඳහා භාවිතා කරයි. එමෙන්ම  ශ්‍රී  ලංකාව ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ, විශේෂයෙන්ම ජල මූලාශ්‍ර කෙරෙහි ඇති වන බලපෑම හා සම්බන්ධ දේශගුණික අවදානම් තත්ත්වයන් ගත්  කළ, අඛණ්ඩව ඉහළ මට්ටමක සිටී.

    මෙය සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආහාර නියෝජිතායතන (FAO, IFAD, සහ WFP) ශ්‍රී ලංකාවට සිය කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පවතින හදිසි අවශ්‍යතාවය අවධාරණය කළේ ගරු කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක ආහාර දිනය සැමරීමේ උත්සවයකදීය. මෙම උත්සවයේදී, තිරසාර සහ දේශගුණයට ඔරොත්තු දෙන සහ, ජාතික පරිමාණයෙන් ඉහල නැංවීමේ හැකියාවක් පවතින  කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයක් සඳහා නියෝජිතායන විසින් හඳුන්වා දී ඇති ප්‍රවේශයන් ඉස්මතු විය.. වාද විවාද, චිත්‍ර නිර්මාණ මෙන්ම  තරුණ දේශගුණ ක්‍රියාකාරිනියක වන තාරිකා ප්‍රනාන්දුගේ විශේෂ දේශනයක් ද හරහා, තරුණ තරුණියන්ගේ හඬ පෞර්ෂයන් මෙම උත්සවයේදී පුළුල්ව ඉස්මතු විය.

    සිය ප්‍රධාන දේශනයේදී, කෘෂිකර්ම අමාත්‍ය ගරු. මහින්ද අමරවීර මැතිතුමා සැමට ආහාර ආරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වන  ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කළේය. ජාතික ප්‍රමුඛතා ලෙස කෘෂිකර්මාන්තයේ සහ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ඔහු  අවධාරණය කළ අතර අනාගත දේශගුණික අභියෝග ජය ගැනීම  වෙනුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර නියෝජිතායතන විසින් සපයන ලද වටිනා තාක්ෂණික සහාය පිළිබඳව ද අමාත්‍යවරයා කෘතඥතාව පළ කළේය.

    උත්සවයේ දී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රන්ච් ප්‍රකාශ කළේ, වැඩි වන ජල ආතති සහ දේශගුණික අවදානම් තත්ත්වයන් හමුවේ තිරසාර හා දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන භාවිතයන් යනු  විකල්ප පමණක් නොව, ඒවා අත්‍යාවශ්‍ය වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවේ ජල හා ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවත්, සෑම කෙනෙකුටම ප්‍රමාණවත් හා පෝෂදායි ආහාර ලබා ගත හැකි සහ කිසිවකු හෝ කුසගින්නෙන් නොසිටින අනාගතයක් සහතික කිරීමට කැපවී සිටින බවත් ඔහු පැවසුවේය.

    ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO හි නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් රටේ කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීමට එම සංවිධානය කැපවී සිටින බව අවධාරණය කළේය. ඉදිරි පරම්පරාවන් වෙනුවෙන්,  ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට, රටෙහි කෘෂිකර්මික සහ ධීවර අංශ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන බව සහතික කිරීම උදෙසා  රජය සමඟ කටයුතු කිරීමට FAO කැපවී සිටී. “අපද්‍රව්‍ය, දූෂණය සහ දේශගුණික අවදානම් තත්ත්ව අවම කිරීම සඳහා අපි දිවයින පුරා සිටින ගොවීන් සහ ධීවරයින් සමඟ කටයුතු කරමින් සිටිමු” යනුවෙන් ඔහු පැවසුවේය.

    IFAD හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කටයුතු කරන අධ්‍යක්ෂිකා, ශෙරීනා ටබසම් මෙසේ පවසන්නීය,“දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා ගැනීම අවිනිශ්චිත වී ඇත. කුඩා පරිමාණ ගොවීන්ට ඇතැම් විට ප්‍රමාණවත් ජලය නොමැති අතර ඇතැම් විට ඕනෑවටත් වඩා ජලය ඇත. ඒ හේතුවෙන් වාරිමාර්ග පද්ධතිය තව තවත් වැදගත්  වන අතර එමගින් කුඩා පරිමාණ ගොවීන්ට අඛණ්ඩ ජල සැපයුමත් සමග ආහාර නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යා හැකිය. IFAD රජය සහ ගොවි ජනතාව සමඟ එක්ව, ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ටැංකි වැනි නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමට හැකිවන පරිදි සහ එල්ලංගා පද්ධති වැනි සම්ප්‍රදායික ක්‍රම යළි පණ ගැන්වීමට හැකිවන පරිදි, කටයුතු කරන අතර එමගින් ගොවීන්ට වසර පුරා වගා කිරීමට හැකියාව ලැබෙයි. මෙමඟින් අඩු ඵලදායිතාවක් සහිත යැපුම් ගොවිතැනෙහි සිට රටටම බත සපයන වාරිකර්මාන්තය වෙත ගමන් කිරීමට හැකියාව උදා කර දෙයි."

    “මෑත අතීතයේ දී ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අවධානය යොමු වී ඇති නමුත්, ජල සුරක්ෂිත තාවයෙන් තොර ආහාර සුරක්ෂිතතාවක් නොමැති බව අපට නිතරම අමතක වේ,” යැයි ශ්‍රී ලංකාවේ WFP හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ WFP හි ශ්‍රී ලංකාව භාර නිලධාරී ජෙරාඩ් රෙබෙලෝ පැවසුවේය. “WFP, අපගේ හවුල්කරුවන් සමගින් එක්ව ආහාර පද්ධති වඩාත් තිරසාර හා ආන්තික කාලගුණ තත්ත්වයන්ට  ඔරොත්තු දෙන මට්ටමට ගෙන ඒමට සහ කුඩා වතු ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට මෙන්ම බාධාවකින් තොරව, වසර පුරාම ගොවිපලේ සිට කෑම මේසය දක්වා ආහාර සැපයුම ශක්තිමත්ව සහ අඛණ්ඩව පවතවාගෙන යාමට, රජයට සහය දක්වමින් සිටියි.”

    FAO, IFAD සහ WFP, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇතිකරනු පිණිස තිරසාර සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ප්‍රවේශයන් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටියි.