ශ්‍රී ලංකාවේ ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ තීරණයක්

    June, 12, 2024

    රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් වේ. පැවති රජයන් විසින් වරින්වර හඳුන්වා දෙනු ලැබ ඇති විවිධ ප්‍රතිපත්තීන් අනුව තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම හේතුවෙන් මෙරට ආයෝජන සඳහා වන තරගකාරී පරිසරයට අයහපත් බලපෑමක් සිදු ව ඇත.
    එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ  උපදෙස් මත ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ නියෝජිතායතනවල සාමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර තිබේ.
    එම කමිටුව විසින් වෙළෙඳ කටයුතු පිළිබඳ විශේෂඥයන්ගේ සහ මෙම විෂයය හා සම්බන්ධිත අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ මග පෙන්වීම යටතේ ව්‍යාපාරික සහ කර්මාන්ත ප්‍රජාව සමඟ සාකච්ඡා කර ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කරනු ලැබ ඇත.
    2025 ජනවාරි මස සිට අදියර තුනක් (03) යටතේ එම ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහාත්, පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.