November, 22, 2023
ජපාන රජය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස, ශ්‍රී ලංකාව වෙත උපකාර අවශ්‍ය සෑම අවස්ථාවකදීම, සිය මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් සහයෝගය ලබා දේ. ඒ අනුව, ජපාන රජය විසින් වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය පහසුකම්වල ගුණාත්මකභාවය සහ ජනතාවගේ සමාජ යහපැවැත්ම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට විවිධ ආධාර පරිත්‍යාග කර ඇත.
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය, ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය, රැකියා අවස්ථා උත්පාදනය, ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සහ අපනයන ඉපැයීම් ඉහළ නැංවීම සදහා තිරසාර විභවතාවයක් සහිත ක්ෂේත්‍රයකි. ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම, පසු අස්වනු හානිය අවම කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීම, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, විදේශ විනිමය ඉහළ නැංවීම සහ සහ ධීවර කර්මාන්තයේ දිගුකාලීන තිරසාර බව සහතික කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම රජයේ අපේක්ෂාව වේ.
ඉහත කරුණ සැලකිල්ලට ගනිමින්, ධීවර කර්මාන්තය සඳහා ආධාරක උපකරණ සැපයීම සඳහා ජපන් ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන දෙකක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 435 ක) මූල්‍යමය ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත. මෙම ප්‍රදාන ආධාරයේ අරමුණ වන්නේ ශීත දාම (cold chain) පහසුකම් සංවර්ධනය කිරීමත්, නවීන විද්‍යුත් උපකරණවලින් ධීවර ක්ෂේත්‍රය සන්නද්ධ කිරීමත් මගින්, මුහුදු නිෂ්පාදන සදහා ඉහළ අගයක් එකතු කිරීම තහවුරු කරනු හා එමගින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම වේ.
මෙම ආධාර යටතේ අයිස් සැකසීමේ යන්ත්‍ර, ඩිජිටල් කිරුම් තරාදි (Digital Platform Scales), ධීවර දැල් කට්ටල, පෙර සැකසූ ශීතකරණ/ අධි ශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක් රථ සැපයීමට අපේක්ෂා කෙරේ. ධීවර කර්මාන්තයේ පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම තුළින් වටිනාකම් දාමයේ පවතින බාධාවන් අවම කර තරගකාරිත්වය වර්ධනය කිරීම උදෙසා මෙම ප්‍රදාන සහයෝගීතාවය මහඟු අනුග්‍රහයක් වනු ඇත.
ඉහත ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති අතිගරු මිසිකෝෂි හිදෙකි මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා මැතිතුමාගේ සහ ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 22 වන දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.
Video Story