• Ada Derana BIZ Sinhala
  • FACETS SRI LANKA
  • Facets Sri Lanka Expo
  • Gems
  • January
  • Jewelery
  • sri lanka

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය 2023 ජනවාරි මාසයේදී

December, 5, 2022

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා (FACETS SRI LANKA) ප්‍රදර්ශනය දෙවසරක නිහැඬියාවෙන් පසු 2023 ජනවාරි මස 7 වන දා සිට  9 වන දා තෙක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍ර‍ර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍ර‍චාරණ කටයුතු සිදු කරමින් ප්‍ර‍දර්ශනය සඳහා සහයෝගය පළ කරයි.

මේ පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා කොළඹදී පැවැත්වුණු අතර,                ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය වැදගත්වන බව එහිදී ප්‍රකාශ විය. ස්වර්ණාභරණ නිෂ්පාදනයේ දී කේන්ද්‍රීය යෙදවුම ලෙස බහුලව වර්ණවත් මැණික් ගල් භාවිතය ප්‍රවර්ධනය කිරීම, මැණික් වෙළඳාමේ වසර දෙදහසකට වැඩි ඉතිහාසය තුළ සුවිශේෂී මාණික්‍යය ලෙස ලංකා නිල් මැණික් ප්‍රචලිත කිරීම මෙහි අභිලාෂයන් ලෙස නම් කොට ඇත. ශ්‍රී ලංකාවේ මැණික් සඳහා තිබෙන ඉල්ලුම මෙන් ම දිනාගෙන තිබෙන ජනප්‍රිය භාවය තව දුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී අවවධාරණය කෙරිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මැණික් හා ස්වර්ණාභරණ) එස්. එම්. පියතිස්ස, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, ෆැසෙට්ස් ශ්‍රී ලංකා සභාපති අල්ටාෆ් ඉක්බාල් සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන් යන මහත්වරු සහ තවත් ආයතන ප්‍රධානීහු රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මැණික් ගැරීමේ සිට නිෂ්පාදන, තොග වෙළඳාම සහ සාමාන්‍ය වෙළඳාම දක්වා මෙම කර්මාන්තයේ උප අංශවල අභිලාෂයන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ ප්‍රමුඛත ම සංවිධානයයි.