February, 14, 2024
පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ලබාදෙන ජපන් යෙන් මිලියන 1,230 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.8 ක) ව්‍යාපෘති ආධාරය
පිරිවැය අඩු කරන හා පිරිසිදු බලශක්ති අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු පුබුදුවාලන නවෝත්පාදනයක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය සීග්‍රයෙන් වර්ධනය වේ. හරිතාගාර වායු විමෝචනයට දායක වෙමින් පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා වේගයෙන් ක්ෂය වෙමින් පවතින පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන්, බලශක්ති අවශ්‍යතා තිරසාර ලෙස සපුරාලීම සඳහා විකල්ප පුනර්ජනනීය බලශක්ති සම්පත් පිළිබඳව සලකා බැලීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කරවා ඇත.
මෙම අභියෝගාත්මක ගමනට ශක්තියක් වෙමින්, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ජපන් රජය, සිය සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ තෝරාගත් රෝහල්වල ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජපන් යෙන් මිලියන එක්දහස් දෙසීය තිහක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.8 ක) ආධාරයක් ලබා දීමට එකඟ වී ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන තෝරාගත් රජයේ රෝහල් තුනක වහල මත ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපනය කෙරේ. මීට අමතරව, ප්‍රකාශ වෝල්ටීයතා (Photovoltaic) මොඩියුල සහ උපාංග, බලශක්ති කන්ඩිෂනර් සහ උපාංග, විදුලි රැහැන් සහ සම්බන්ධිත පුවරු, ගිනි අනාවරක, වෙනත් ආශ්රිත ප්‍රතිසංස්කරණ සහ අදාළ සේවාවන් සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය බලශක්ති උත්පාදන ක්ෂේත්රයේ තාක්ෂණික හුවමාරුව සඳහා මෙම ප්‍රදාන සහයෝගීතාවය මහඟු අනුග්‍රහයක් වනු ඇත.
ඉහත ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර සහ ප්‍රදාන ගිවිසුමට අත්සන් තැබීම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් 2024 පෙබරවාරි මස 14 වන දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී. ජපාන රජය වෙනුවෙන් හුවමාරු පත්‍ර සදහා අත්සන් තබන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙයකි මහතා වන අතර ප්‍රදාන ගිවිසුම සදහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (ජයිකා) මූලස්ථාන ප්‍රධානී ටනාකා අකිහිකො මහතා විසින් අත්සන් තබන ලදී.




Video Story