October, 19, 2022
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමෙන් පසුව රජය විසින් ගෙවීමට නියමිතව තිබූ යම් විදේශ ණය සේවාකරණ ගෙවීම්, රාජ්‍ය ණය සම්බන්ධ දත්ත සකස් කිරීමේ දී ගැලපුම් කර නොමැති නිසා මැයි මාසය අවසානය සඳහා වන මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය පිළිබඳ දත්ත තාවකාලික වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තියට අනුව, බලපෑමකට ලක්වූ විදේශ ණය කාණ්ඩවල ප්‍රාග්ධනයට එකතු කළ යුතු, ගෙවීමට නියමිත පොලී ගෙවීම්, මෙලෙස ගැලපුම් සිදුකර නොමැති ණය සේවාකරණ ගෙවීම්වලට අයත් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, 2014 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශවලට අනුව, අනේවාසිකයන් සතු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන විදේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇති බවත්, නේවාසිකයන් සතු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන දේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇති බවත්ය.
2022 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,051.3 ක් හෙවත් රු. ට්‍රිලියන 24.05 ක් ලෙසින් වාර්තා වේ.
2022 මැයි මාසයේ දී සමස්ත ණය ප්‍රමාණයෙන් රු. බිලියන 12,522.1 ක් දේශීය ණය ලෙසත් රු. බිලියන 11,529.2 ක් විදේශීය ණය ලෙසත් සටහන්ව ඇත.

Video Story