May, 6, 2026
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංවර්ධන න්‍යාය පත්‍රය සහ දිගුකාලීන කෘෂිකාර්මික ඵලදායීතාවය කෙරෙහි පාම් ඔයිල් කර්මාන්තයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය (POIA) විසින් පසුගියදා කොළඹදී මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වැවිලි, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ ක්ෂේත්‍ර නායකත්වය නියෝජනය කරන ප්රමුඛ පෙළේ විශේෂඥ මණ්ඩලයක් සහභාගී විය. POIA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යජිත් ද සිල්වා මහතා, ලලාන් රබර් සමාගමේ මහාචාර්ය අශෝක නුගවෙල මහතා, වටවල වැවිලි සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න ප්‍රේමචන්ද්‍ර මහතා, SAARCFOODS ශ්‍රී ලංකා සංගමයේ සභාපති වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා මෙහි මූලාසනය හෙබවූහ. මීට අමතරව ප්රමුඛ පෙළේ වතු සමාගම් නියෝජිතයින්, කර්මාන්ත ක්ෂේත්රයේ පාර්ශවකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී පාම් ඔයිල් කර්මාන්තයේ ආර්ථික වැදගත්කම, විශේෂයෙන් ආනයන මත රඳා පැවැත්ම අවම කිරීම තුළින් විදේශ විනිමය සුරක්ෂිත කිරීම සහ වගාවන් සඳහා සුදුසු ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. පාම් ඔයිල් යනු ආහාර නිෂ්පාදනය, ගෘහස්ථ පරිභෝජනය සහ විවිධ නිෂ්පාදන යෙදුම් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම හුදෙක් වතු අංශයට පමණක් සීමා වූ කරුණක් නොව පුළුල් ආර්ථික වැදගත්කමකින් යුත් ජාතික අවශ්‍යතාවයක් බව විද්වත්හු මෙහිදී පෙන්වා දුන්හ.
විදේශ විනිමය මත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින පසුබිමක, ආහාරයට ගත හැකි තෙල් ආනයනය සඳහා වැයවන අතිවිශාල මුදල ඉතිරි කර ගැනීමට ඇති අවස්ථාව පාම් ඔයිල් වගාවට පනවා ඇති සීමා හේතුවෙන් අහිමි වී ඇති බව මහාචාර්ය අශෝක නුගවෙල මහතා සඳහන් කළේය. "2025 වසරේ ශ්‍රී ලංකාවේ දේශීය පාම් ඔයිල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 38,210 ක් වූ අතර, එය එම වසරේ දේශීය පොල්තෙල් නිෂ්පාදනය වූ මෙට්‍රික් ටොන් 33,696 ට වඩා ඉහළ අගයකි. 2024 වසරේ දේශීය පාම් ඔයිල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 34,708 ක් විය. 2025 වසරේ පාම් ඔයිල් ආනයනය සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 140,022 ක පිරිවැයක් දැරීමට සිදු විය. නිසි වගා පිළිවෙත් අනුගමනය කළහොත් පාම් ඔයිල් හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 4 ක් පමණ තෙල් අස්වැන්නක් ලබාගත හැකි අතර, ලෝක වෙළඳපොළේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 1,100 ක් පමණ වන බැවින්, ශ්‍රී ලංකාවට මෙයින් විශාල ආර්ථික ප්‍රතිලාභයක් අත්කර ගත හැකිය," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
විධිමත් සහ වගකීම් සහගත මාර්ගෝපදේශ යටතේ වගා කිරීමට අවසර ලැබුණේ නම්, අලුතින් හඳුනාගත් හෙක්ටයාර 8,000 ක වපසරිය දේශීයව තෙල් නිෂ්පාදනයට, වතු ක්ෂේත්රයේ විවිධාංගීකරණයට, ග්‍රාමීය රැකියා උත්පාදනයට සහ අපනයන ආදායම් ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ඉඩ තිබූ බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. නිසි නියාමනයක් සහිත ප්‍රවේශයක් මගින් දේශීය අගය දාමයන් ශක්තිමත් කිරීමටත්, අනවශ්‍ය ආනයන වියදම් අවම කරමින් රටේ පුළුල් ආර්ථික ප්‍රකෘතියට සහය වීමටත් හැකි බව ද සහභාගී වූවෝ ප්‍රකාශ කළහ.
සෞඛ්‍යය, පෝෂණය, ජල පරිභෝජනය සහ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පාම් ඔයිල් පිළිබඳව සමාජයේ පවතින පොදු මතයන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි. වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පාම් ඔයිල්වල පෝෂණීය පැතිකඩ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, මහාචාර්ය දේවක වීරකෝන් මහතා පරිසර හිතකාමී කරුණු සහ වගකීම් සහගත ඉඩම් පරිහරණ සැලසුම්කරණයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.
තොරතුරු මත පදනම් වූ මාධ්‍ය සංවාදයක් දිරිගැන්වීම, පවතින දුර්මත දුරු කිරීම සහ ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ අනාගතය පිළිබඳ වඩාත් සාධනීය ජාතික කතිකාවකට සහය වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව POIA සඳහන් කළේය. තවද, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී විද්‍යාත්මක සාධක, ආර්ථික යථාර්ථයන්, පාරිසරික වගකීම් සහ රටේ සමස්ත සංවර්ධන න්‍යාය පත්‍රය පදනම් කරගත යුතු බව සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.
වමේ සිට - මහාචාර්ය එස්. පී. නිශ්ශංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ප්‍රසන්න ප්‍රේමචන්ද්‍ර මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වටවල වැවිලි සමාගම, යජිත් ද සිල්වා මහතා - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, POIA, මහාචාර්ය අශෝක නුගවෙල - ලලාන් රබර් සමාගම, වෛද්‍ය රේණුකා ජයතිස්ස - සභාපති, SAARCFOODS ශ්‍රී ලංකා සංගමය සහ මහාචාර්ය දේවක වීරකෝන් - කොළඹ විශ්වවිද්‍යාලය.
Video Story