ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරයි

    October, 25, 2023

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළෙඳ අවස්ථා වැඩිදියුණු කිරීමේ අරමුණින් ජෝර්ජියානු ව්‍යාපාරික නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හා සාකච්ඡාවක නිරත විය. එහි සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා පැමිණි දූත පිරිස පිළිගත් අතර, දෙරට අතර වාණිජ සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

    ජෝර්ජියාව ශ්‍රී ලංකාවේ 91 වැනි විශාලතම අපනයන ගමනාන්තයයි. 2022 දී ජෝර්ජියාවට ශ්‍රී ලංකාවේ අපනයනයන්, ඇමෙරිකානු ඩොලර් මිලියන 5.02 ක් වූ අතර, එය 2021 ට සාපේක්ෂව 22.45% ක වැඩිවීමක් පෙන්වයි. දෙරට අතර වෙළඳ සබඳතා වැඩිදියුණුවට මග පාදන මුලපිරීම් සිදුකිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය තවදුරටත් සූදානමින් සිටියි.

    යුක්රේනය සහ ජෝර්ජියාව යන දෙරටම යා කෙරෙන තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජෝර්ජියානු දූත පිරිස හඳුන්වා දෙනු ලැබිණි. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය, තවිශ්‍යා මුල්ලේගම්ගොඩ (Thavishya Mullegamgoda) මහත්මිය විසින් අපනයන කෘෂිකර්ම සහ වෙළඳපොළ සංවර්ධන අංශ සමඟින් එක්ව, මෙම හමුව සම්බන්ධීකරණය කරන ලදී.

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන, විශේෂයෙන් පලතුරු, එළවළු, කුරුඳු, කුළුබඩු, වැනිලා සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමු විය. ජෝර්ජියානු නියෝජිත පිරිසගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ඉහත සඳහන් ක්ෂේත්‍රවල ප්‍රවීණතාවයෙන් යුතු ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා හමුව විවෘත කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කළේය.

    ජෝර්ජියානු නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ අතර රටවල් අතර අනාගත ව්‍යාපාරික අවස්ථා සඳහා සබඳතා දිරිමත් කළහ.