ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්

    May, 7, 2026

    ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

    මෙම රැස්වීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මුහම්මද් රසා මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ. මීට අමතරව, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) වැඩබලන මහලේකම් සහ සාර්ක් (SAARC) වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලාන් එම්. විජේසූරිය මහතා මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් වූහ.

    නියෝජිත පිරිස පිළිගනිමින් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, දෙරට අතර පවතින ශක්තිමත් ඓතිහාසික මිත්‍රත්වය සහ වර්ධනය වන ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳව අවධාරණය කළේය. විශේෂයෙන්ම 2005 වසරේදී අත්සන් කරන ලද ශ්‍රී ලංකා-පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව ඔහු සිහිපත් කළ අතර, එය පකිස්ථානය විසින් අත්සන් කරන ලද ප්‍රථම ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම වීම විශේෂත්වයකි. දෙරට අතර වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ගිවිසුම තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙහිදී දෙපාර්ශවය විසින් පුද්ගලික අංශයේ සහයෝගීතාව ඉහළ නැංවීම, වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම සහ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් රාමුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මගින් ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සහ දිගුකාලීන ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශ්වාසය පළ කරමින් මෙම හමුව සාර්ථකව අවසන් විය.