ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM DIGIS 2.1 දියත් කරයි

    September, 22, 2021

    අනාගතයට  සූදානම් ශ්‍රී ලංකාවක් බල ගැන්වීම

    ශ්‍රී ලංකාවේ අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2021 සැප්තැම්බර් 16 වන දින අන්තර්ජාලය මගින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්‍ෂිත ඩිජිටල් ත්‍යාග ප්‍රදානෝත්සවය වන SLIM DIGIS 2.1 දියත් කරන ලදී.

    නව නිපැයුම් සහ  කුසලතාවන් හඳුනාගෙන ඩිජිටල් අලෙවි අංශයේ වෘත්තිකයින්ට නිසි පිළිගැනීමක් ලබා දෙන එකම සම්මාන උළෙල වන මෙය අඛණ්ඩව තුන්වන වරටත් පැවැත්වේ. බැංකු හා මූල්‍ය, රක්‍ෂණ, විදුලි සංදේශන, තොරතුරු තාක්‍ෂණ හා අන්තර්ජාල, ආගන්තුක සත්කාර සහ  සංචාරක ව්‍යාපාර ඇතුළු විවිධ අංශයන්හි හොඳම ඩිජිටල් අලෙවිකරණ ජයග්‍රහණ මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කෙරේ.

    පසුගිය වසරට සමානව, DIGIS 2.1 හි ප්‍රධාන සම්මාන සහ විශේෂ සම්මාන කාණ්ඩ ඇතුළත් වේ. නව විශේෂ ත්‍යාග දෙකක් ද මෙම වසරේදී ආරම්භ කෙරේ. ඒවා යටතට ‘Best Response to COVID-19’ එනම් පවතින නව සාමාන්‍ය කාලය යටතේ ඇති අභියෝගවලට හොඳින් මුහුණ දෙමින් නව අවස්ථා හඳුනා ගනිමින් ගනුදෙනුකරුවන් ඒවාට සම්බන්ධ කර ගනිමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවන ලද හොඳම ඩිජිටල් අලෙවිකරණ මුලපිරීම් සඳහා ලබා දෙන ඇගයීමක් ද ‘Best Use of Data’ එනම් දත්ත මඟින් මෙහෙයවනු ලැබූ හෝ වැඩි දියුණු කරන ලද හොඳම පන්තියේ ඩිජිටල් ව්‍යාපාර සඳහා ලබා දෙන ඇගයීමක් ද වේ. පවතින වසංගත තත්ත්වය  හමුවේ ව්‍යාපාර වලට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග හමුවේ ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයින්ගේ අනගි කාර්යභාරයට වැඩි වටිනාකමක් ලබා දීමට මෙම නව සම්මාන කාණ්ඩ සමත්වනු ඇත.

    SLIM DIGIS 2.1 පිළිබඳව අදහස් දක්වමින් SLIM හි සභාපතිනි තිලංකා අබේවර්ධන මහතා මෙසේ පවසන ලදී. "තෙවන  වසර සඳහාත් අපගේ ප්‍රමුඛතම ඩිජිටල් අලෙවි ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. කොවිඩ් -19 වසංගත පසුබිම මධ්‍යයේ වුවද පසුගිය වසර තුළ ලැබුණු ඇතුළත් කිරීම් සංඛ්‍යාව පිළිබඳව අපි විශාල වශයෙන් සතුටට පත්වුනා. ඩිජිටල් අලෙවිකරණ අංශයෙන් පැවැත්වෙන එකම සම්මාන උළෙල වශයෙන් ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයින් සහ සමාගම් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු බව අපි කියන්න කැමතියි. ව්‍යාපාර වල  අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා ඩිජිටල් අලෙවිකරුවන් තම හොඳම  නිෂ්පාදන ඉදිරිපත්  කිරීම ඉතාම වැදගත්. SLIM DIGIS ආරම්භයේ සිටම ඩිජිටල් අලෙවිකරණ කර්මාන්තයට අවශ්‍ය ශක්තිය සපයමින් කර්මාන්තයේ හොඳම ජයග්‍රහණ නිසි ලෙස පිළිගැනීමට වේදිකාවක් සපයමින් සිටිනවා"

    "ඩිජිටල් අලෙවිකරණය වේගයෙන් දියුණු වන කර්මාන්තයක් වන අතර එමඟින් සෑම තරාතිරමකම ව්‍යාපාර මෙහෙයවීමේ හැකියාව පවතිනවා. අලෙවිකරණයේ අනාගතය ඩිජිටල් ආකාරයේ වන බවට සැකයක් නැති අතර ඩිජිටල් තලය තුළ වැඩිවන ඉල්ලීම් සපුරාලීම සඳහා මෙම කර්මාන්තයේ වර්ධනයට අපි සහාය විය යුතුයි. ඩිජිටල් අලෙවිකරණය සඳහා කැප වූ සම්මාන උළෙලක් පැවැත්වීම මේ සඳහා ගන්නා ලද විශාල පියවරක්. SLIM DIGIS වැනි ප්‍රමුඛතම සම්මාන උළෙලකින් ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයින්ට සහ සමාගම් වලට ලැබෙන දිරිගැන්වීම ඇත්තෙන්ම ඔවුන්ට දැඩි උත්සාහයක් දැරීමට හා නව කඩඉම් කරා යාමට ශක්තියක් සපයනවා" ව්‍යාපෘති සහ තිරසාරභාවය පිලිබඳ උප සභාපති චින්තක පෙරේරා මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී.

    SLIM DIGIS 2.1 හි ව්‍යාපෘති සභාපති ගයාන් පෙරේරා මහතා සිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. "වෘත්තීය අලෙවිකරණ ආයතනයක් වශයෙන් SLIM, විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ කර්මාන්තය නඟා සිටුවීම සඳහා වැඩසටහන් කිහිපයක් මෙහෙයවමින් සිටිනවා. ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් දියත් කිරීම සඳහා සමාගම් විසින් දරන ලද වෙහෙස මහන්සිය අගය කිරීමට අපට ගත හැකි වූ කඩිනම් මුලපිරීමක් තමයි SLIM DIGIS ආරම්භ කිරීම. සහයෝගිතා ප්‍රවේශයක් තුළින් ‘අනාගතයට සූදානම් ශ්‍රී ලංකාවක්’ බල ගන්වමින්  ඩිජිටල් අලෙවි කිරීමේ කර්මාන්තයේ දියුණුව සඳහා අඛණ්ඩව පියවර ගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා"

    SLIM DIGIS 2.1 ජයග්‍රාහකයින්ට රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනමන අතර ප්‍රධාන සම්මාන සහ විශේෂ සම්මාන යන අංශ දෙකෙන්ම ඉහළම ලකුණු ලබා ගන්නා ව්‍යාපාර/සමාගම් සඳහා Grand Prix ප්‍රදානය කෙරේ. SLIM DIGIS 2.1, ගෞරවනීය කර්මාන්ත වෘත්තිකයින්ගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි.