ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තේ වතු කම්කරු සේවකයන් සඳහා ‘SLIC ජීවන ශක්ති’ රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

    September, 6, 2023

    ශ්‍රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සැලසුමක් වන ‘SLIC ජීවන ශක්ති’ හඳුන්වා දෙයි. මෙම විශේෂ රක්ෂණ ආවරණය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වී  වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය  ගෙන එන විශේෂ සැලසුමකි.

    ශ්‍රී ලංකාව  උසස් ගණයේ තේ නිෂ්පාදකයෙක් ලෙස  ලොව පුරා ප්‍රසිධියක් ලබා තිබේ. ලොව බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව හඳුනාගන්නේ  'සිලෝන් ටී' යන නාමය හේතු කොට ගෙනය. ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට තේ කර්මාන්තයෙන් සිදුවන දායකත්වය සුළු පටු එකක් නොවන අතර එය මෙරට අපනයන අංශයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එවන් කර්මාන්තයක වඩාත්ම වටිනා සම්පත් දායකයා වන්නේ වතු කර්මාන්ත සේවකයින්ය. ඔවුන්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාවය මෙම කර්මාන්තයේ දීර්ඝකාලීන පැවැත්මට හේතු වේ. තේ වතු කම්කරුවන් කළමනාකරණ කටයුතු සිට තේ දළු නෙළන කාර්යයන් අතර පරාසයේ සිදුවන සෑම කටයුත්තකටම තම ශ්‍රම දායකත්වය ලබා දේ. 150,000 කට අධික පිරිසක් මේ වන විට වතු කම්කරුවෝ ලෙස සේවයේ  යෙදී සිටී.  ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දිගු කාලීනව පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මෙම ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කිරීම මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේම වගකීමකි.

    තම ව්‍යාපාරික වගකීම් අවබෝධ කරගත් රක්ෂණ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, රටේ ජනතාවගේ ජීවන රටාවේ ගුණාත්මක භාවය ඉහළ  නංවාලීම සඳහා නව රක්ෂණ සැලසුම් නිරන්තරයෙන්ම වෙළෙඳපොළට හඳුන්වා දෙයි. එසේම ඔවුන් නව ප්‍රජා  කාණ්ඩ  හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීමට කටයුතු කරයි. රටේ සෑම පුරවැසියෙකුටම රක්ෂණයක් ලබා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙසේ කටයුතු කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය රක්ෂකයා ලෙස  මෙම සුවිශේෂී ජන කොටස සඳහා විශේෂ ජීවිත සහ සෞඛ්‍ය ආවරණයක් වන ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවන ශක්ති’ හඳුන්වා දීමට කටයුතු කර ඇත.

    ‘SLIC ජීවන ශක්ති’ යනු තේ කර්මාන්තයේ වතු කම්කරුවන්ට සුවිශේෂී වූ ජීවිත රක්ෂණ සැලසුමකි.  එය පවුල් ආවරණයක් ලෙස පිරිනමනු ලබන අතර එය වයස අවුරුදු 18-70 අතර සේවකයින් සඳහා වේ. අසාධ්‍ය රෝග ප්‍රතිලාභ, රෝහල් ගාස්තු ප්‍රතිලාභ, ජීවිත ආවරණ යනාදිය මෙම රක්ෂණ සැලසුම් මගින් ආවරණය වේ. මෙම රක්ෂණ සැලසුම ඔප්පුව හිමියන්ගේ සහකරු හෝ සහකාරිය  සහ දරුවන් ද ආවරණය කරයි.

    'ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ජීවන ශක්ති' රක්ෂණාවරණය හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා ප්‍රකාශ කළේ, ජනතාවගේ නිරන්තරයෙන් වෙනස් වන රක්ෂණ අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා වලට සරිලන නව්‍ය රක්ෂණ විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්   නිරන්තරයෙන්ම කැප වී සිටින බවත් තම පාරිභෝගිකයින්ට  දැරිය හැකි පහසු වාරික මුදලකට  අසමසම වටිනාකමක් සහ පුළුල් ආරක්ෂාවක් ලබා දීමටත් නිරතුරුවම කටයුතු කරන බවත්ය.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රටේ විශාලතම  රක්‍ෂණ සේවා සපයන්නා ලෙස ජනතාවගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන්  ඉහළ නැංවීමට සැමවිටම ඉදිරියෙන් සිටිමින් කටයුතු කරන බවයි.එසේම, තේ කර්මාන්තය රටේ ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර වගකිවයුතු ආයතනික පුරවැසියන් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කරනා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම  සෑම ආයතනයකම වගකීමක් බවත් ඒ මහතා පැවසුවේය.

    වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) හි  සභාපති භාරත් අරුල්සාමි මහතා අදහස් දක්වමින්, "අපි මේ සිටින්නේ සුවිශේෂී කඩයිමක් අභියසයි. එනම්, වැවිලි මානව සංවර්ධන භාරය (PHDT), ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව  හඳුන්වාදෙන 'SLIC ජීවන ශක්ති' නම්  නව්‍ය සහ සුවිශේෂී රක්ෂණ සැලසුම තුලින්  තේ වතු කම්කරුවන්ට විශේෂ වු අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීමයි.

    තේ වතු  කම්කරුවන් තේ කර්මාන්තයේ  ජීවනාලියයි. ඔවුන් දහඩිය මහන්සිය නොතකා තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටිනවා. ඔවුන්ගේ ඒ කැපවීමට කරන කෘත ගුණ සැලකීමක් ලෙස  'SLIC ජීවන ශක්ති' රක්ෂණ සැලසුම මගින් ඔවුන්ගේ යහපැවැත්ම සඳහා ජීවිත රක්ෂණය සහ අසාධ්‍ය රෝගාබාධ සඳහා රු. 300,000/- දක්වා ද, රු. 500/- ක දෛනික රෝහල් ගාස්තු ප්‍රතිලාභයක් ද මෙම රක්ෂණාවරණය තුලින් ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. මෙම රක්ෂණ සැලසුම  හුදෙක් රැකවරණයක් පමණක් නොව, විශේෂයෙන්ම බලාපොරොත්තු නොවු අවස්ථාවක සිදුවන විපත්ති වල දී ද  සහනයක් ලබා දීමට හැකිවන පරිදි හඳුන්වා දුන් රක්ෂණාවරණය කි."

    එතුමා තවදුරටත් පවසා සිටියේ, "අපේ රට සෞභාග්‍යයමත් කිරීමට වෙහෙසන මෙම ප්‍රජාව ගේ  ජීවිත නඟා සිටුවීම සඳහා හඳුන්වා දුන් මෙම  සුවිශේෂී රක්ෂණ සැලසුම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට ඔවුන්ගේ දූරදර්ශී දැක්ම පිළිබඳව අපි අතිශයින් ස්තූතිවන්ත වෙමු.

    මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අප  හා එක්වන ලෙස සියලුම ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත මම හෘදයාංගම ආරාධනය කරමි. ඔබ සැමගේ සහයෝගය ඇතිව  'SLIC ජීවන ශක්ති' රක්ෂණාවරණය තුලින් වතු කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල  අයිතිවාසිකම්, අභිමානය සහ හෙට දිනය සමෘධිමත් කර දීමට අපි සාමුහිකව කටයුතු කල යුතුව තිබෙනවා. ඒ සඳහා අපි කැප වී වැඩ කල යුතු වෙනවා. මන්ද යත් ඔවුන් අප රටේ තේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමට සිටින වටිනාම සම්පතයි."

    ශ්‍රී ලංකාවේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු. ජීවන් තොණ්ඩමන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “සාර්ථක හෙට දිනක් වෙනුවෙන් විශේෂ පියවරක් සනිටුහන් කරමින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි මානව සංවර්ධන භාරය (PHDT), සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව  'SLIC ජිවන ශක්ති', රක්ෂණ සැලසුම අද දින අපි එළි දැක්වීමට කටයුතු කරා. මෙම විශේෂ කර්තව්‍ය තේ වතු කම්කරුවන් ගේ සුභසිද්ධිය වෙනුවෙන් අපගේ නොසැලෙන කැපවීමට හොඳම සාක්ෂියක් වන අතර, මෙම යෝජනා ක්‍රමයේ සුවිශේෂීතාවයෙන් එය තහවුරු වේ.

    තේ වතු කම්කරුවන් අපේ ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය නිසා  අනපේක්ෂිත අවදානම්වලට නිරාවරණය වීමට ඇති සම්භාවිතාව වැඩිය.  'SLIC ජීවන ශක්ති' රක්ෂණ සැලසුම මගින් ජීවිත රක්ෂණය සහ බරපතල රෝගාබාධ සඳහා රු. 300,000/- දක්වා ද, රු. 500/- ක දෛනික රෝහල් ගාස්තු ප්‍රතිලාභයක් ද මෙම රක්ෂණාවරණය තුලින් ලබා ගැනීමට රක්ෂණ ඔප්පු හිමියාට අවස්ථාව හිමි වේ.  කිසියම් පුද්ගලයෙකුට යම් කිසි හදිසි  අවස්ථාවකට  මුහුණ දීමට සිදු වුවහොත් මෙම රක්ෂණ සැලසුම නිසා මුල්‍යමය අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු නොවන අතර එය එම පුද්ගලයට යම් තාක් දුරට අස්වැසිල්ලක් ගෙන එයි. රු. 99/- ක් වැනි සුළු මුදලකින් ආරම්භ වන මාසික වාරිකයක් හතර දෙනෙක් සිටින පවුලකට ලබා ගත හැකි වඩාත්ම ලාභදායී රක්ෂණ විසඳුමකි.

    ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සමඟ එක්ව මෙම සුවිශේෂී රක්ෂණාවරණය හඳුන්වා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  සභාපතිවරයාට, අධ්‍යක්ෂ මණ්ඩලයට සහ එහි කාර්යමණ්ඩලයට මම විශේෂයෙන්  ස්තූතිවන්ත වෙනවා.

    වතු කම්කරුවන්ගේ රැකවරණය සහ ඔවුන්ගේ ජිවිත වල ගුණාත්මක භාවය  වර්ධනය කිරීම සඳහා ඔබගේ කැපවීම සහ සහයෝගය ඒ වෙනුවෙන් ලබා දෙමින් මෙම ප්‍රයත්නයට අප හා එක්වන ලෙස ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මේ සඳහා ඔබ ලබා දෙන සහයෝගය තේ වතු කම්කරුවන්ට මූල්‍යමය ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් සපයනු ඇත. එය ඔබ ඔවුන්ට දක්වන කෘත ගුණ සැලකීමක් වන අතර අපි සියලු දෙන සාමුහිකව තේ වතු කර්මාන්තයේ සැබෑ වීරයන් වන කම්කරුවන්ගේ හෙට දවස ආරක්ෂා කිරීමටත්  ඔවුන්ට සාර්ථකත්වය ලඟා කර දීමට කටයුතු කිරීමට සහතික වෙමු."