‘ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය’ ස්ථාපිත කිරීම සඳහා නව පනතක්

    April, 22, 2026

    රජයට අයත් වාණිජ නොවන ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය ඒකාබද්ධ කර තනි ආයතනයක් ස්ථාපිත කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා 2025-12-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ නීතිමය රාමු කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී කෙටුම්පත මත පදනම්ව 'ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය' ස්ථාපිත කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.