November, 30, 2023
මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) පිහිටුවන ලද්දේ 2002 වසරේ ඔක්තෝම්බර් මාසයේදීය. ශ්‍රී ලංකා මැණික් වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ස්වර්ණාභරණ නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා මැණික් තාක්ෂණික ශිල්පීන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ආදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත සංගම් කිහිපයකම එකමුතුවෙන් ආරම්භ කරන ලද මෙම සංගමය ඔස්සේ දේශීය මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ විවිධ වෘත්තීන්වල නිරත වී සිටින සියලුම වෘත්තිකයන් ඒකාබද්ධ කරන ලදි. එලෙස වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ තිරසාරභාවය සහ අන්තර්ජාතික තත්ත්වය පෝෂණය කරමින් නවීන තාක්ෂණික මෙන්ම නිර්මාණාත්මක අංගයන් වර්ධනය උදෙසා කැප වූ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සිය දශක දෙකක සුවිසල් මෙහෙවර සාඩම්බරයෙන් සමරනු ලබයි.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නවෝත්පාදන කටයුතු සවිබල ගැන්වීමේ සහ තිරසාර විශිෂ්ටත්වයක් වෙත ගමන් කිරීමේ මූලික දැක්ම පදනම් කරගනිමින් ගොඩනැගුණු ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ මූලික අරමුණ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් දේශීය උරුමයන් රැකගනිමින් අන්තර්ජාතික පිළිගැනීම තවදුරටත් වර්ධනය කිරීමය. මෙම සංගමය සිය මෙහෙවර ලෙස සදාචාරාත්මක භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඉහළ නැංවීම, වෙළෙඳපල වෙත පහසුවෙන් පිවිසීමට අවශ්‍ය පසුබිම සැකසීම, තිරසාර මූලාශ්‍ර සඳහා පෙනී සිටිමින් අඛණ්ඩව කර්මාන්තය වර්ධනය කිරීම සහ ගෝලීය වෙළෙඳපලේ ඇති තරඟකාරිත්වයට ගැළපෙන පරිදි සමාජීය මෙන්ම ආර්ථික කුසලතා පෝෂණය කිරීම ආදී දැවැන්ත කාර්යභාරයක නියැළී සිටින අතර මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සාර්ථකත්වය උදෙසා ඔවුන්ගේ දායකත්වය සුවිශේෂී පිටිවහලක් වී තිබේ.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ මෙහෙයුම් අංශයේ උප සභාපති ෆයිරාස් හමීඩ් මහතා මේ පිළිබඳව සිය අදහස් මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව නියෝජනය කරන සංගමයක් ලෙස අප සෑම විටම අපගේ අවශ්‍යතාවලට වඩා රටේ අවශ්‍යතාවලට මුල් තැන දී කටයුතු කරනවා. ඒ වගේම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් නිරන්තර සහය දක්වමින් කර්මාන්තයේ වෘත්තිකයන් සඳහා ප්‍රබල හඬක් ලෙස පෙනි සිටින අප සංගමය , කර්මාන්තය ආශ්‍රිතව මුහුණ දීමට සිදුවන ගැටලු රජයට සහ අදාළ පාර්ශයටන්ට ඉදිරිපත් කරමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් වෙත ගමන් කිරීමට මහත් දායකත්වයක් ලබාදෙනවා.”
තවද, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ පරිපාලන සහ ව්‍යාපෘති අංශයේ ප්‍රධානී රෝෂන් වීරරත්න මහත්මිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය දේශීය මෙන්ම ගෝලීය වශයෙන් විවිධ ඇගයීම්වලට සහ ගෞරවයන්ට පාත්‍ර වුණා. එම ගෞරවණීය සම්මානයන් හිමිකර ගැනීම ඔස්සේ දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ලොව පුරා සාර්ථකව ව්‍යාප්ත කරමින් කර්මාන්තයේ වර්ධනය පුළුල් කිරීමට සංගමය විසින් දක්වන ලද කැපවීම මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙරට තුළ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ අංශයේ උපදේශකයා ලෙස සුවිසල් කාර්යභාරයක නිරත වී සිටින අප සංගමය රාජ්‍ය සහ අනෙකුත් ආයතන ඉදිරියේ පෙනීසිටිමින් සංගමයේ සාමාජිකයන්ගේ සහ කර්මාන්තයේ ප්‍රගමණය වෙනුවෙන් උපරිම දායකත්වයක් සපයනවා."
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සංගමය යටතේ මැණික් අංශය, ස්වර්ණාභරණ අංශය, මැණික් තාක්ෂණික අංශය සහ ප්‍රවර්ධන අංශය ආදී වශයෙන් මූලික අංශ 04ක් තිබෙන අතර සංගමයේ ආරම්භයේ සිටම දිවයින පුරා විසිරී සිටින පතල් කම්කරුවන්ගේ සිට සුළු සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, අපනයනකරුවන්, මැණික් කැපුම් ශිල්පීන් ,තාක්ෂණික ශිල්පීන් සහ තාප පිරියම් කරන්නන් ඇතුළු කර්මාන්තයට අදාළ වෘත්තිකයන් රැසකගේ සහයෝගීතාවයෙන් සමන්විත වූ සංගමයක් ගොඩනැගීමට මූලික වී ඇත. මෙම සාමූහික ශක්තිය ඔස්සේ කර්මාන්තය වෙත එල්ල වන අභියෝගවලට සාමූහිකව ආමන්ත්‍රණය කිරීමට මෙන්ම කර්මාන්තයේ සියලුම වෘත්තිකයන්ගේ අවශ්‍යතා සඳහා උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබාදෙයි.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය වෙත නව සාමාජිකයන් බඳවා ගැනීමේදී එහි විධායක කමිටුව විසින් විශේෂ පරීක්ෂණ ක්‍රියාවලියක් පවත්වනු ලබයි.එමෙන්ම ප්‍රතිපත්තිමය කරුණු, අයවැය මෙන්ම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් වැඩි අවධානයක් යොමු කරන අතර දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරය වෙත රැගෙනයමින් ඩුබායි එක්ස්පෝ වැනි ගෝලීය අවස්ථාවන්වලදී දේශීය මැණික් හා ස්වර්ණාභරණ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙයක් මෙම සංගමය විසින් සිදුකර තිබේ.
වසර ගණනාවක් පුරාවට මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යවසාකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට ප්‍රධාන වේදිකාවක් වූ FACETS ප්‍රදර්ශනය මුල්වරට ආරම්භ කරන ලද්දේ 1991 වසරේදීය. එතැන් සිට කර්මාන්තයෙහි නියැළී සිටින්නන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මෙන්ම නවෝත්පාදන සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පෝෂණය කර ගැනීම වෙනුවෙන් මහඟු අවස්ථාවක් වූ FACETS ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ වාර්ෂික දින දර්ශනය තුළ ද ඉතා වැදගත් ප්‍රමුඛතම අවස්ථාවක් බවට පත් විය. මෙවර FACETS 2024 ප්‍රදර්ශනය ජනවාරි 6 වැනි දින සිට 8වැනි දින දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ආරම්භයේ සිට මේ දක්වා වසර 20කට වඩා දිගු කාල පරිච්ඡේදයක් පුරාවට අතිසාර්ථක ගමනක් සපැමිණි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය කර්මාන්තයේ නව්‍ය කටයුතු , තිරසාරභාවය සහ ජාත්‍යන්තර පිළිගැනීම සුපෝෂණය කරමින් එහි පොහොසත් උරුමය අනාගත පරපුර උදෙසා රැකගනිමින් සංගමයේ මෙන්ම කර්මාන්තයේ සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්ඩ කාර්යභාරයක නිරත වී සිටියි. මෙම සියලුම මෙහෙයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය ලෙස ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සතු කැපවීම යළි යළිත් තහවුරු වේ.
Video Story