ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කළ  2023 ස්වර්ණාභරණ නිර්මාණ තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු අවසන් වේ

    September, 19, 2023

    දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින්  ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.  මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ  සඳහා බොහෝ වෘත්තීය සහ ආකර්ෂණීය ස්වර්ණාභරණ නිර්මාණ රැසක් ඉදිරිපත් කරමින්  තරඟකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සහභාගී වූහ. මෙම තරඟය හරහා ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය සහ සංස්කෘතික උරුමයන් සිය කලා නිර්මාණ තුළින් ඉස්මතු කිරීම පිළිබඳව  තරඟකරුවන් දිරිමත් කිරීම ද සුවිශේෂී කරුණකි.

    මෙම තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු පසුගිය දා පැවැත්වුණු අතර ප්‍රවීණ  විනිශ්චය මණ්ඩලයක් විසින් එහිදී  විනිශ්චය කටයුතු මෙහෙයවන ලදී. එහිදී  Jagro හි වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ EDB හි හිටපු සභාපති ඉන්දිරා මල්වත්ත  සහ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන් වන සොනාලි ධර්මවර්ධන  සහ දිනේෂ් චන්ද්‍රසේන එම විනිශ්චය මණ්ඩලයේ සමාජිකයන් ලෙස සිය දායකත්වය ලබාදුන් අතර ස්වර්ණාභරණ සංගමය නියෝජනය කරමින් අලි-සුහේල් මහතා ද විනිශ්චය කටයුතු සඳහා සහභාගී විය.

    මෙම තරඟය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම නිර්මාණ විනිශ්චය මණ්ඩලය විසින්  සවිස්තරාත්මක ඇගයීමකට ලක් කළ අතර  අනුග්‍රාහකයින් විසින් නිෂ්පාදනය කිරීම සඳහා අවසන් නිර්මාණ දහය තෝරා ගන්නා ලදී. එම නිර්මාණ අතරින් ජයග්‍රාහී නිර්මාණ ත්‍රිත්වය තීරණය කිරීමේ අවසාන වටයේ විනිශ්චය කටයුතු මෙම වසර අගදී සිදු කිරීමට නියමිතය. තවද, තරඟයට ඉදිරිපත් කරන ලද අලංකෘත ස්වර්ණාභරණ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සහ ජයග්‍රාහී නිර්මාණකරුවන් ප්‍රකාශයට පත් කිරීම සඳහා විශේෂ සම්මාන උළෙලක්  පැවැත්වීමට ද ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය  සැලසුම් කර තිබේ.