ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා මවුන්ට් ලෝටස් රෝහල විවෘත කෙරේ

    December, 1, 2021

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, මහජනතාවට නිල වශයෙන් දොරටු විවෘත කරන ලදී.

    ගල්කිස්ස, ගාලු පාරේ අංක 102 දරන ස්ථානයේ පිහිටි මෙම රෝහල උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ මවුන්ට් ලෝටස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජේෂ්ඨ වෛද්‍ය වෘත්තීයවේදීන් විසිනි- මෙම අවස්ථාවට මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී බස්නායක මහතා, රෝහල් කාර්ය මණ්ඩලය සහ ආයතනික හවුල්කරුවන් සහභාගි වන ලදී- සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති Covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත්විණි.



    මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්,  මිත්‍රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි- නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ප්‍රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකි වේ.

    රෝහල මඟින් ඇස් කණ්ණාඩි සඳහා අක්ෂි පරීක්ෂණ, ග්ලුකෝමා පරීක්ෂාව, දියවැඩියා ආශ්‍රිත අක්ෂි රෝග සඳහා පරීක්ෂණ, අක්ෂි ස්කෑනිං පරීක්ෂණ, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය සඳහා පෙනීම පරීක්ෂාව වැනි පුළුල් පරාසයක අක්ෂි පරීක්ෂණ, අක්ෂි ශල්‍යකර්ම සහ කන, නාසය, උගුර, සයිනස් සහ බෙල්ල ප්‍රදේශයේ ගැටළු ඇති රෝගීන් සඳහා පූර්ණ පරාසයක වෛද්‍ය සහ ශල්‍ය සේවා සපයයි. මීට අමතරව, වෛද්‍ය රසායනාගාර සේවාද සපයනු ලැබේ.

    මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී බස්නායක මහතා ප්‍රකාශ කළේ, “ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමීව පහසුකම් සපයන අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂිත රෝහලක් නොමැතිකම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අඩුවක් වී පැවතුනා. අද, මවුන්ට් ලෝටස් රෝහල විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව යුගයකට පිවිස ඇති බව අපට ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. දැන්, රෝගීන්ට ඔවුන්ගේ අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍ය අවශ්‍යතා සඳහා පළපුරුදු සහ ඉහළ පුහුණුව ලත් වෛද්‍ය මණ්ඩලයක් වෙතින් ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව ඉහළ ගුණාත්මක සත්කාරයක් ලබා ගන්නට පුළුවන්.”

    වඩාත් ඉඩකඩ සහිත නවීන විෂන් කෙයා ශාඛාවක්  ද රෝහලට ඇතුළත් වන අතර එහිදී පාරිභෝගිකයන්ට ලොව ප්‍රචලිත සන්නාම යටතේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච සහ ශ්‍රවණාධාරක ඉතාම සාධාරණ මිලකට ලබාගැනීමට හැකි වේ.

    www.mountlotus.lk වෙත පිවිසීමෙන් රෝහල සහ එහි සේවා පහසුකම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැක.