ශ්‍රී ලාංකීය නාවිකයින්ට ලබා දෙන පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳ BSM සමඟ වි‍ශේෂ සාකච්ඡාවක්

    May, 6, 2026

    ශ්‍රී ලාංකීය නවක නාවිකයින්ට ලබාදෙන පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ Bernhard Schulte Shipmanagement (BSM) සමාගමේ උසස් නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් 2026 මැයි 06 දින වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ලොව ප්‍රමුඛ නෞකා කළමනාකරණ සමාගමක් වන BSM විසින් ශ්‍රී ලංකාවේ නාවික මානව සම්පත් වර්ධනය වෙනුවෙන් දැක්වූ කැපවීම මෙහිදී විශේෂ අවධානයට ලක් විය. වර්තමානයේ ශ්‍රී ලාංකීය පුහුණු නාවිකයින් 55 දෙනෙකුට පමණ BSM නෞකාවන්හි පුහුණුව ලබා දෙන අතර, 2026 අවසන් වන විට එම සංඛ්‍යාව 100 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව නියෝජිත පිරිස විසින් ප්‍රකාශ කරන ලදී.

    මෙම සහායෝගීතාවය හරහා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් නාවික ක්ෂේත්‍රයට පිවිසීම සඳහා නව දොරටු විවර වන අතර,එමගින් රටේ ආර්ථිකයට ද වටිනා දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇත.

    මෙම සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා BSM සමාගමේ සහයෝගය අගය කළ අතර, එය දිගුකාලීන සහයෝගී ක්‍රියාවලියක් ලෙස ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    මෙම සාකච්ඡාවට BSM සමාගම නියෝජනය කරමින් කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සොෆ්‍රොනිස් තියෝඩෝසියෝ මහතා (Sofronis Theodosiou)සහ Schulte සමූහයේ කැඩෙට් වැඩසටහනේ ප්‍රධානී අතනාසියෝස් පැනවුට්සොපොලොස් මහතා (Athanasios Panoutsopoulos) ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. එසේම SMTI ආයතනයේ සභාපති රොමේෂ් පීටර්ස් මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

    අනාගතයේදී ශ්‍රී ලංකාව සමඟ තවත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ BSM නියෝජිත පිරිස, මෙම හමුව සඳහා ලැබූ අවස්ථාව පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළහ.