December, 8, 2023
ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සිය සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා 8 වැනි වරටත් සංවිධානය කරන ලද සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලිය 2023 නොවැම්බර් 02 වැනිදා කොළඹ, කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජ පිටියේදී පැවැත්විණ. ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සාමාජික ආයතනයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මීන්ට මෙන්ම ආහාරපාන හා බැඳුණු සියලූ දේශීය කර්මාන්ත ආයතනයන් හා ව්‍යාපාරයන්හි සේවක සේවිකාවන්ටද සහභාගී විය හැකි ආකාරයෙන් සංවිධානය කර තිබූ මෙම තරගාවලිය සඳහා මෙවර සාමාජික සමාගම් 38 ක කණ්ඩායම් 45ක් එක් විය.
8 වැනි SLFPA සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය කන්ටි‍්‍ර ස්ටයිල් ෆුඞ්ස් පුද්ගලික සමාගමේ SMAK කණ්ඩායම විසින් හිමිකරගත් අතර CBL ෆුඞ්ස් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය. තරගයේ වීරයා කුසලානය කන්ටි‍්‍ර ස්ටයිල් ෆුඞ්ස් පුද්ගලික සමාගමේ තාරක ධනුෂ් මහතා සහ තරගයේ වීරවරිය කුසලානය CBL ෆුඞ්ස් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ එම්. ඞී. නිරෝෂාංගනී මෙනෙවිය හිමිකරගත්හ.
සැකසූ ආහාර සහ පාන, යන්ත‍්‍ර සූත‍්‍ර හා ඇසුරුම්කරණ, ජාත්‍යන්තර ආහාර සහතිකකරණය, ආහාරපාන සේවා යනාදී ක්ෂේත‍්‍ර රැසක් නියෝජනය කරමින් සහභාගී වූ ආයතන ගණනාවක සාමාජික මහත්ම මහත්මීන් එකම ජයග‍්‍රාහී කුසලානයක් අරමුණු කරගනිමින් තරග වැදුනු මෙවර SLFPAසය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වූ සියල්ලෝ වෙහෙසකර ඒකාකාරී වෘත්තීය ජීවිතයෙන් යම් අස්වැසිල්ලක් ලැබූහ. කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමෙහිලා හොඳම ක‍්‍රීඩා නිවාසය තේරීමේ තරගයක්ද එහිදී පැවැති අතර පැමිණි සියල්ලන්ගේ වින්දනය උදෙසා කැරොකේ ගීත ගායනා හා නර්තන තරගයක්ද සංවිධානය කොට තිබිණ. කැරෝකේ ගායනා තරගයේ ජය පර්ෆෙටි වෑන් මලේ සමාගමේ රංග මුතුනායක මහතා සහ මේපල් පැකේජින් පුද්ගලික සමාගමේ සෙලනි ලසත්මා මෙනෙවිය හිමිකරගත්හ. නර්තන තරගයේ දී හොඳම නර්තන ශිල්පියා ලෙස පර්ෆෙටි වෑන් මලේ සමාගමේ මාධව මහතා තෝරාගත් අතර කන්ට්‍රෝල් යුනියන් පුද්ගලික සමාගමේ සඳලි මෙනෙවිය හොඳම කැරෝකේ ගායන ශිල්පිනිය ලෙස තේරී පත් වූවාය. හොඳම ක‍්‍රීඩා නිවාසය තේරීමේ තරගයේ ජය කන්ට්‍රෝල් යුනියන් පුද්ගලික සමාගම වෙත හිමිවූ අතර එහි අනුශූරතාවය නියෝ කෙම් පුද්ගලික සමාගම වෙත හිමිවිය.
8 වැනි SLFPA සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලිය සඳහා ප්ලැටිනම් අනුග‍්‍රාහකත්වය එලිෆන්ට් හවුස් වෙතින්ද ස්වර්ණමය අනුග‍්‍රහය SGS ලංකා පුද්ගලික සමාගමෙන් සහ CBL සමූහය වෙතින්ද ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලංකා ලිමිටඞ් (LIC) සහ සේන මිල්ස් රිෆයිනරීස් පුද්ගලික සමාගමෙන් (SMR) රජතමය අනුග‍්‍රහය හිමිවිය. Lanka Exhibitions & Conference Services Ltd (LECS) ආයතනය විසින් 8 වැනි SLFPA සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලිය සඳහා අනුග‍්‍රහයෙන් එක් විය.
1997 වසරේ ඇරඹුන ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය, මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත‍්‍රය කෙරෙහි බලපවත්වන ජාතික ප‍්‍රතිපත්ති හා රෙගුලාසි, ප‍්‍රාදේශීය සහයෝගීතා ආයතන, තාක්ෂණික දැනුම් හුවමාරුව හා අලෙවිකරණය ආදී සෑම අංශයක්ම ආවරණය වන පරිදි එකමුතු වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම දැවැන්ත හා බහුජාතික සමාගම්ද ඇතුළුව 140 කට අධික සාමාජික ආයතනයන්ගෙන් සැදුම්ලත් සංගමයකි. ශ්‍රී ලාංකීය ආර්ථිකයේ කෘෂිකර්මාන්තය හා බැඳුණු කුඩා එහෙත් ප‍්‍රබල වපසරිය සංවර්ධනයෙහිලා ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය පුරෝගාමී දායකත්වයක් එක්කරන්නේ දේශීය නිෂ්පාදකයන් රැසක් සවිබල ගන්වා දැවැන්ත සෘජු ශ‍්‍රම බලකායක් ගොඩනංවමිනි.
ඡායාරූප විස්තරය: ඉදිරි පෙළ: 8 වැනි SLFPA සය සාමාජික සුහද ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ කන්ටි‍්‍ර ස්ටයිල් ෆුඞ්ස් පුද්ගලික සමාගමේ SMAK කණ්ඩායම - පසුපස පේලිය (වමේ සිට SLFPA උප සභාපති නදීශාන් ගුරුගේ, හිටපු SLFPA සභාපති නිශාන් පෙරේරා, SLFPA උප සභාපති අරුණ සේනානායක, SLFPA හිටපු සභාපති ධම්මික ගුණසේකර, SLFPA නව සභාපති තුසිත් විජේසිංහ, SLFPA වත්මන් සභාපති ඩෙලානෝ ඩයස්, SLFPA හිටපු සභාපති හැමිල්ටන් ඩයස්, SLFPA විධායක කමිටුු සාමාජික සමීර ජයතිලක, SLFPA ලේකම් කාර්යාලයේ සන්ධ්‍යා ප‍්‍රනාන්දු.
Video Story