• Ada Derana BIZ Sinhala
  • Aitken Spence
  • Hapag Lloyd Lanka
  • luxury cruise
  • Mein Schiff 5
  • sri lanka
  • tourism

සංචාරකයින් 2,000 ක් රැගත් දැවැන්ත මගී නෞකාවක් කොළඹට

November, 29, 2022

දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ.

Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි.

මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු  Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd Lanka විසින් සිදුකරන ලදී. Hapag Lloyd Lanka, TUI cruises හි නියෝජිත ආයතනයක් ද වේ.

අද (29) දිනයේ දී කොළඹට සේන්දු වූ මෙම මගී නෞකාව හෙට (30) දිනයේ දී හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතය.

මෙම නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් අද සහ හෙට දින දෙක තුළ රට තුළ සංචාරය කිරීමට නියමිත අතර කොළඹ නගරය, කැලණි විහාරය, මුතුරාජවෙල හා මාදු ගඟේ බෝට්ටු සවාරි, එයාර් ටැක්සි මගින් සීගිරිය වෙත, ගාලු නගරය යනාදී සංචාරක ගමනාන්තයන් වෙත සංචාරය කරනු ඇත.

එයිට්කන් ස්පෙන්ස් සමාගමේ පහසුකම් සැලසීම හරහා මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි මගී නෞකාව මෙය වන අතර මීට පෙර පසුගිය නොවැම්බර් 18 වන දා මගීන් 900 ක් සමඟින් ‘Viking Mars’ මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණි.