සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම  “Great Place To Work” සහතික ලත් සමාගමක් බවට පත් වෙයි

    August, 10, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පළතුරු යුෂ බීම නිෂ්පාදන හා අලෙවි සමාගම වන සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම “Great Place To Work” සහතික ලත්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් අතරට තේරී පත්ව තිබේ. යම් ව්‍යාපාරයක් විසින් තම සේවක මණ්ඩලය වෙත ආයතනික වශයෙන් ඉටුවිය යුතුකම් ඉටුකරමින් මානවහිතවාදී විශිෂ්ඨ වැඩබිමක් නිර්මාණය කොට පවත්වාගෙන යාම අගයමින් සිදුකෙරෙන “Great Place To Work” ජාත්‍යන්තර වර්ගීකරණයේ ශ්‍රී ලාංකීය සමාගම් වර්ගීකරණය අතරට යම් සමාගමක් තේරී පත්වන්නේ පූර්ණ රහස්‍ය භාවයකින් යුතුව ක්‍රියාත්මක කෙරෙන ස්වාධීන හා අපක්ෂපාතී සමීක්ෂණ ක්‍රියාවලියක ප්‍රතිඵල මත පදනම්වය. සේවකයන් ආයතනය පිළිබඳ දක්වන විශ්වාසය, එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය, සාධාරණත්වය, තම වෘත්තිය පිළිබඳ අභිමානය හා කණ්ඩායම් හැඟීම මුසු මිත්‍රත්වයේ හැඟීම යන ප්‍රධාන නිර්ණායක 5 ක් ඔස්සේ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ (SQL), සේවයේ යෙදී සිටින සේවක සේවිකාවන් ඉලක්ක කොට ගනිමින් Great Place To Work ජාත්‍යන්තරය විසින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දත්ත “Great Place To Work” ගෞරවය SQL වෙත හිමිකරදීමෙහිලා ඉවහල් විය. සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම ඩෙන්මාකයේ CO-RO A/S ජාත්‍යන්තර සමාගමේ අනුබද්ධ දේශීය ව්‍යාපාර ආයතනයක් වන අතර එහි දේශීය හවුල්කරුවා වනුයේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි ආයතනයක් වන සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගමයි.

    ශ්‍රී ලංකාවේ පළතුරු යුෂ හා කෝඩියල් වෙළෙඳපොලේ 70% ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියන සන්ක්වික් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර වර්ෂ 1978 සිට ඉමහත් ගෞරවාදරයට පත් වූ විශ්වාසනීය සන්නාමයකි. එදාමෙදාතුර සන්ක්වික් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ හිමිකරගත් විශිෂ්ඨත්වයට පාරිභෝගිකයන්ගේ ආශිර්වාදය මෙන්ම සේවක සේවිකාවන්ගේ කැපවීමද හේතුවේ.

    පූර්ණ ලෙස විවෘතභාවය හා විනිවිදභාවය තහවුරු කළ සේවා පරිසරයක් ඇති සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ සියළු දෙනා එකම පවුලක් ලෙස එකමුතුව මිත්‍රශීලී ලෙස ක්‍රියාකරයි. සේවා ස්ථානයකට පැමිණෙන සේවක මහත්ම මහත්මීන් දිනයේ වැඩි කාලසීමාවක් ගතකරනු ලබන්නේ ආයතනය තුල රාජකාරි කටයුතුවල නිරත වෙමින් නිසා ඒ පිළිබඳ ඉතා හොඳින් අවබෝධ කරගත් සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාරීත්වය, ආයතනය හා තමා යනු දෙපාර්ශ්වයක් නොව එකම කණ්ඩායමක් බව තම කාර්ය මණ්ඩලය වෙත වටහා දීමට සමත්ව සිටියි. දීර්ඝ සේවා කාලසීමාවක වැඩකටයුතු කරන්නට සිදුවීම නිසා ඇතැම් ආයතනයක සේවක සේවිකාවන්ගේ පෞද්ගලිකත්වය හා නිදහස සීමාවීම බොහෝවිට දැකිය හැකි වුවද නම්‍යශීලී කාර්යය කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ සේවය කිරීමේ පහසුකම් සලසා දෙන්නට සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම කටයුතු කොට ඇත්තේ සේවකයන් හට තෘප්තිමත් සේවා පරිසරයක් හිමිකරදෙමිනි.

    කාර්ය මණ්ඩලය තුල සිටින සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය සාර්ථකත්වය යනු “සන්ක්වික්” සන්නාමයේ සාර්ථකත්වය බව වටහා ගත් කළමනාකාරීත්වය සිය කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් ශක්තිමත් කරනු ලබයි. 100% ක් ස්වභාවික නැවුම් පළතුරු යොදාගනිමින් නැවුම් භාවය සුරක්ෂිත වන ආකාරයෙන් ස්කැනේඩියානු තත්ත්ව සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කෙරෙන සන්ක්වික් තත්ත්ව ආරක්ෂණ සේවයෙහි නියැලී සිටින්නේ ලෝකයේ හොඳම තත්ත්ව පාලන සම්මතයන් අනුව පුහුණුවූ තත්ත්ව ආරක්ෂණ වෘත්තිකයන් පිරිසකි. ආයතනයේ සියළුම ස්ථරයන්ගේ සේවයේ නියැලි සේවක සේවිකාවන් ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුමෙන් සන්නද්ධ වූවෝය. පියවරෙන් පියවර දියුණුව කරා යන්නට අත්වැල සපයන සේව්‍ය කේන්ද්‍රීය ආයතනික සංස්කෘතියක් සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම තුළ නිර්මාණයකොට තිබෙන්නේ ආයතනය සතු වටිනාම ධනය සේවකයා බව විශ්වාස කරන නිසාවෙනි.

    “Great Places To Work” ගෞරවය පිළිබඳ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “Great Places To Work සහතිකය අපගේ ව්‍යාපාරික ගමන් මග තුල අප ලැබූ විශිෂ්ඨ ගෞරවයක්. ආයතනයක සාර්ථකත්වය කෙරෙහි සේවක කේන්ද්‍රීය සේවා සංස්කෘතියක් පවත්වාගැනීමේ වැදගත්කම මේ සහතිකය මගින් තවදුරටත් තහවුරු කළා. උසස් තත්ත්වයේ ගුණාත්මක නිෂ්පාදනයක් බිහි වන්නේ තමන්ගේ සේවය පිළිබඳ තෘප්තිමත් සේවකයෙකු අතින් බව අපි වටහාගෙන තිබෙනවා. එසේ තෘප්තිමත් සේවකයෙකු තෘප්තිමත් පාරිභෝගිකයෙක් නිර්මාණයකොට අපට වෙළෙඳපොළ ජයග්‍රහණය නිර්මාණය කරදෙන ප්‍රධාන බලවේගයයි. පහුගිය කාලයේ ඇතිවූ අභියෝග මැද්දේ වූවද අප හා අඛණ්ඩව රැඳී සිටිමින් අප ශක්තිමත් කළ සේවක මණ්ඩලයට මා හදවතින්ම ස්තූතිවන්ත වනවා ඔවුන්ගේ සහයෝගය නොවන්නට අපට ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ විශ්වාසය දිනූ සන්නාමයක් බවට පත්වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.” යැයි පැවසීය.

    සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම “Great Place To Work” සහතිකය හිමිකරගැනීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ Great Place to Work ප්‍රධාන විධායක නිලධාරී ක්ෂණිකා රත්නායක මහත්මිය “Great Place To Work සහතිකය ලබාගැනීමෙන් පැහැදිළි වන්නේ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම තමන්ගේ සේවකයන් ගැන දක්වන ධනාත්මක ආකල්පයයි. Great Place To Work නාමාවලියට සමාගමක් ඇතුලත් කරගැනීමේදී අපි ඉතා සැලකිල්ලෙන් කරුණු ගණනාවක් අධ්‍යනය කරමින් තියුණු අධ්‍යනයක නිරතවෙනවා. සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම අදාල සියළු නිර්ණායකයන් සපුරා තිබෙන නිසා Great Place To Work සහතිකය ඔවුන් හිමිකරගත්තා.” යැයි පැවසුවාය.